24/12/2014 – ලංකාදීප – මිලින්ද මොරගොඩ
ශ‍්‍රී ලංකාව ඇතුළු වෙමින් සිටින්නේ අලූත් යුගයකටය. මෙම යුගයේ බලවත්ම සංකේතය බවට පත්වනු ඇත්තේ අපේක්ෂාවය. පොදු ජනතාවට ස්වකීය අපේක්ෂා ඉටු කරගැනීමට ආණ්ඩු පාලනයේ දී ලැබෙන ඉඩ කඩ ඉතා වැදගත් වනු ඇත. එම අපේක්ෂා සාක්ෂාත් කර ගැනීමට සාධාරණ සහ යුක්ති සහගත පසුබිමක් සකස් කිරීම පාලකයන්ගේ එකම වගකීම වනු ඇත.
තමන්ගේම ගෙයක් දොරක් තනා ගෙන දරු දැරියන් සමග නිවී සැනසිල්ලේ ජීවත්වන පසුබිමක් මෙරට සෑම පුරවැසියෙකුගේ ම අපේක්ෂාවයි. දරුවන්ට හොඳ අධ්‍යාපනයක්, පහසුවෙන් ගමන් බිමන් යන්නට අවකාශයක්, යහපත් සෞඛ්‍ය හා සනීපාරක්ෂක පහසුකම්, පහසු මිලට ආහාර පාන මිලදී ගන්නට හැකි වට පිටාවක් සහ යුක්තිය ඉටුවන නීතිය මෙම අපේක්ෂාව තුළ ගැබ්ව ඇති අවශේෂ ප‍්‍රධාන කරුණු ලෙස සැලකිය හැකිය.
නිදහස ලැබීමෙන් පසු ගත වූ කාලය තුළ මෙම අපේක්ෂා සාක්ෂාත් කර ගන්නට ජන සමාජය කළ කැපවීම සුවිශේෂී බව නොරහසකි. රට පාලනය කළ සෑම නායකයෙකුම සිය දර්ශනය අනුව ජන සමාජයේ අපේක්ෂා ඉටු කරන්නට කරන්නට නොයෙක් ආකාරයට ක‍්‍රියා කළේය. නමුත් යථාර්ථයට අනුව ජනතාවගේ අපේක්ෂා සාධාරණ ආකාරයකට ඉටු වී නැත. රට තුළ දියුණුවක් තිබේ. එම දියුණුව අත් පත් කරගන්නේ දේශපාලන, සමාජ සහ ආගමික වශයෙන් එකිනෙකට වෙනස් මතවාද ගණනාවක ප‍්‍රතිඵලයක් වශයෙන්ය. මෙම මතවාදය රට තුළ පවත්වාගෙන යන්නේ සාධාරණ අන්‍ය අදහස් වලට ඉඩ දෙන සංවාදයක් වශයෙන් නොවේ. බලහත්කාරය බහුල, ගැටුම් සහිත වෛරී සහගත ආකාරයකටය. එය උත්සන්න වන්නේ මරාගෙන මැරෙන ත‍්‍රස්තවාදයක් දක්වා වර්ධනය වීමෙන් ඉනික්බිතිවය. තමන් දරන මතය අනුව විනා සමාජයේ සියලූ දෙනාටම තම අපේක්ෂා ඉටු කර ගැනීමට ඉඩක් නැති බවට තර්ක නගන සහ එහිම ගැටී විනා එයින් මිදී සාකච්ඡාවෙන් සංවාදයෙන් යථාර්ථය හඳුනනා ගන්නට උත්සුක නොවන ක‍්‍රමයක් තුළ අපේක්ෂා ඉටු කරන යාන්ත‍්‍රණයක් සකස් වන්නේ නැත. පොදු ජනතාවගේ අපේක්ෂා ඉටු කරන්නට දේශපාලන පක්ෂ සහ නායකයන් දරන ප‍්‍රයත්නය එකම ඝෝෂාවක් බවට පත්ව තිබේ. මෙම ඝෝෂාව තුළ සාධනීය සංවාදයක් කළ යුතුය සහ අන්තවාදයෙන් නොව මැද මාවතකින් විනා අපේක්ෂා සාර්ථක කරගත හැකි යයි අප නගන හඩ යටපත්ව තිබේ. එපමණක් නොව සිවිල් සමාජය, බුද්ධිවන්ත ජන කොටස සහ ආගමික නායකයන් ද මෙම බලවත් ඝෝෂාව තුළ නිහ`ඩ බහුතරය බවට පත්ව ඇති බව පැහැදිලිව නිරීක්ෂණය කළ හැකිය.
පොදු ජන අපේක්ෂා ඉටු කරන්නට නම් ආණ්ඩුව තුළ දේශපාලනය තුළ ස්ථාවරත්වය, අඛණ්ඩ සැලැස්ම ස්වයං විවේචනය වැදගත්ය. විපක්ෂය නගන මත විමසා ඒ අනුව ගමන් මග සකස් කර ගැනීම අවශ්‍යය. රට යුද පරිසරයෙන් මිදී සාමකාමී පරිසරයකට අවතීර්ණ වී තිබේ. ජාත්‍යන්තරයේ ක‍්‍රියාත්මක වන්නේ මෙයින් තිස් වසරකට කලින් තිබූ ආර්ථික දේශපාලන ප‍්‍රතිපත්ති නොවේ. යුද ගැටුම් පැවැති දශක තුන තුළ පැවැත්ම පරීක්ෂා කිරීමට වඩා ආරක්ෂාව සලසා ගැනීම වැදගත් විය. මැදි ආදායම් රටක තත්ත්වය නොව සැනසිලිදායක රටක පුරවැසියන් වශයෙන් දරුවන්ගේ අනාගතය මවුබිමේ දීම සාක්ෂාත් කරගන්නට හැකි පරිසරයක් ඇතිකරගත යුතුව තිබේ. මෙවර ජනාධිපතිවරණය ඉතා තීරණාත්මක සහ සියුම් එකක් වන්නේ එහෙයින්ය. මතු පිටින් බලා සරල ජනප‍්‍රිය සටන් පාඨ වලට ගොදුරුවීම නුවනට හුරු නැත. කැඩපත හමුවට පැමිණ අප අපගෙන්ම ප‍්‍රශ්න කළ යුතුව තිබේ. පසුගිය කාලය තුළ ශ‍්‍රී ලංකාවේ ගමන් මග කෙබදුද යන්න සාවධානව සාකච්ඡුා කරන්නට අවශ්‍යය. ශ‍්‍රී ලංකාවේ අනාගතය කෙබදු එකක් විය යුතුද? ඉදිරි දශකය තුළ ජන සමාජයේ අපේක්ෂා ඉටු කරන්නට හැකි කවර ප‍්‍රතිපත්ති අනුවද යන්න විමසා බැලීම අවශ්‍යය. ව්‍යවස්ථාවෙන් දිව්‍යලෝකය ගොඩනැගිය හැකිනම් රටට අදටත් එම අවස්ථාව තිබේ. රටට නැත්තේ දර්ශනයකි. සමාජය එකතු කර එකමුතු කරන වැඩ පිලිවෙලකි. ඉදිරි පියවර වෙනුවෙන් රටට ශක්තිමත් නායකත්වයක් අවශ්‍යය. බෙදීම් වෙනුවට සමාජය එකතු කළ හැකි විය යුතුය.milinda-prashna

Advertisements