milinda-prashna

2014/12/10 – ලංකාදීප – මිලින්ද මොරගොඩ

ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනය සම්බන්ධ දීර්ඝ කාලීන අත්දැකීම් සහිත ශ‍්‍රී ලංකාව පසුගිය දශක හයහමාර ඇතුලත එහි විවිධ පැති සම්බන්ධයෙන් නොයෙක් ආකාරයෙන් ක‍්‍රියාකර තිබේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මූලික ගුණාංගය මහජන කැමැත්ත දිනාගැනීමයි. ආණ්ඩු පාලනයට සම්බන්ධ වන මහජන නියෝජිතයන් තෝරා ගන්නේ පොදු ජනතාවගේ බහුතර කැමැත්තෙන්ය. ඡන්දය එහි ප‍්‍රධානතම සංකේතයයි. ජන නායකයෙකුට ජනතාවගේ ඡන්දය ලබා ගැනීමට සිදුවෙයි. ජනතාවගේ කැමැත්ත දිනාගැනීම පහසු කාර්යයක් නොවේ. ජනතාව අතර ප‍්‍රසාදයට පත් වන්නට නම් රට ඉදිරියට ගෙන යන වැඩ පිළිවෙල ඉදිරිපත් කරන්නට අවශ්‍යය. එහිලා වැදගත්වන ප‍්‍රතිපත්ති සම්පාදනය කළ යුතුය.

ජන සම්මතවාදී පාලනය අනුව ජනතාවගේ අභිලාශ ඉටුකිරීමට හැකි බව පෙන්නුම් කිරීම මහජන නියෝජිතයන්ගේ හැකියාවයි. සර්ව ජන ඡන්ද බලය හිමිකරගත් ආසියානු රටක් වශයෙන් ශ‍්‍රී ලංකාවට විශාල කීර්තියක් තිබේ. රටට නිදහස ලබා දෙන මුල් අවස්්ථාවේ දී ඡන්දය පාවිච්චි කිරීමේ වරම හිමිවන්නේ සමාජයේ එක්තරා කොටසකට පමණකි. ඉඩම් හිමි සහ විශේෂයෙන් පුරුෂ පාර්ශවයට පමණක් සීමා වී තිබූ ඡන්දය දීමේ අයිතිය රටට නිදහස දිනා කෙටි කාලයක් ඇතුලත සමස්ථ සමාජයටම බේධයකින් තොරව පවරා දුන් රටක් වශයෙන් ජන්ද ක‍්‍රමය පවතින සෙසු රටවලට වඩා ශ‍්‍රී ලංකාව පියවර ගණනක් ඉදිරියෙන් සිටී.

නමුත් ජන නායකයන් තෝරා ගැනීමේ ක‍්‍රමවේදය පසුගිය දශක තුන හතර ඇතුලත නොයෙක් ආකාරයට සංශෝධනය විය. පාර්ලිමේන්තු ක‍්‍රමය වෙනුවට විධායකය සහ ඡන්දය වෙනුවට මනාප ක‍්‍රමය ද හ`දුන්වා දී ඇති අතර මහජන නියෝජිතයන් තෝරා ගැනීමට වර්තමානයේ අනුගමනය කරන මනාප ක‍්‍රමය හමුවේ පවතින ‘සටන’ සමාජයේ බලවත් විවේචනයකට ලක්ව තිබේ. අද වන විට මනාප ක‍්‍රමය ඇති කරන කටුක සහ කර්කශ තත්ත්වය සාධාරණ සමාජ ව්‍යුහයට සහ ජන සම්මතවාදයට බලවත් අභියෝගයක් කර තිබෙන බව ඉතාමත් පැහැදිලිය. මහජන අභිවෘද්ධිය උදෙසා ජන සම්මතවාදී මහජන නියෝජනය වෙනුවෙන් පෙනී සිටින රටක එය ප‍්‍රායෝගිකව ක‍්‍රියාත්මකවීමේ දී බිහිි කර තිබෙන නරක පැති ගැන සමස්ථ සමාජයටම හො`ද අවබෝධයක් තිබේ.

මෙම නරක පැති හො`ද බවට පත්කර අනාගත පරපුර වෙනුවෙන් යහපත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාමුවක් සකස් කරගන්නේ කෙසේද? සියලූම දේශපාලන පක්ෂ මෙම ක‍්‍රමය වෙනස් කිරීමේ උවමනාවෙන් සිටී. දේශපාලන නායකයන් සහසමාජ නායකයන් එය වෙනස් කළ යුතු යැයි තද ස්ථාවරයක පසුවෙයි. පාරට බැස විරෝධතා පළ කිරීමෙන් හෝ සටන් පාඨ වලින් ක‍්‍රමය වෙනස් කළ නොහැක. ක‍්‍රමය වෙනස් කරන මග පාදා ගත හැක්කේ විද්වතුන් සහ දේශපාලන නායකයින් එකතු වී පවත්වන යහපත් සංවාදයකින් පමණකි.

ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ගුණාංග මැතිවරණ ක‍්‍රමයට ආරෝපනය කරන්නට අවශ්‍යය. විවාදය අවශ්‍ය නැත. පලක් නැති ඝෝෂාවෙන් ජනමතය යටපත් වන්නේය. එයින් ඇති කරන්නේ නොසන්සුන් බව විනා සන්සුන් බව නොවේ. සමාජය සාධනීය තැනක් කරන්නට පියවර ගත යුතුව තිබේ. සියලූම දේශපාලන පක්ෂ සහ මහජන නියෝජිතයන්ගේ අරමුණ රට නගා සිටුවන්නටය. මහජනතාවගේ ජීවිත යහපත් කර සැනසිල්ල උදාකරවීම මහජන නියෝජිතයන්ගේ ඉලක්කයයි. එය සාක්ෂාත් කළ හැකි පාර්ශවය සම්බන්ධව පොදු ජනතාව නිවැරදි තීන්දුවක් ගත යුතුය. ඒ වෙනුවෙන් ගෙවන මිල කොපමණ ද යන්න ගැන සාධාරණ තක්සේරුවක් රටට තිබිය යුතුය. නොවටිනා මිලක් ගෙවා වඩා උසස් ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් තහවුරු කරන්නට හැකියාවක් නැත. සමස්ථ සමාජයම මිල වෙනුවෙන් වන්දි ගෙවන බවට අවබෝධයක් තිබීම දේශපාලනය ගෞරවාන්විත තැනක් බවට පත් කරනු ඇත.

Advertisements