milinda-prashna

19.11.2014 -ලංකාදීප- මිලින්ද මොරගොඩ

වර්තමානයේ මාධ්‍ය භාවිතාව ඉතාම සංකීර්ණ මුහුණුවරක් ගෙන තිබේ. ලෝකයේ කොතැනක හෝ සිදුවන දේ එසැනින් ප‍්‍රවෘත්තියක් ලෙස විකාශය වෙයි. අති විශාල තොරතුරු ප‍්‍රමාණයක් අහන්නට, දකින්නට සහ කියවන්නට ලැබේ. මේවා අතරින් පුලූල් ජන අවධානයට ඉඩ ලැබෙන්නේ සීමිත ප‍්‍රවෘත්ති ප‍්‍රමාණයකට පමණකි. අධි තොරතුරු සැපයුමක් පවතින අතර ඉහළම අවධානයක් ඇති ප‍්‍රවෘත්තියක තැන ගන්නට බලවත් තරගකාරිත්වයක් තිබේ. මෙම තරගකාරීත්වය තුළ මාධ්‍ය ක‍්‍රියාකරන ආකාරය සහ ජන නායකයින් මාධ්‍ය ආකර්ශනය ඇති කරගන්නට උත්සාහ කරන ආකාරය සාකච්ඡා කළ යුතු ප‍්‍රශ්නයකි.

සන්නිවේදන දියුණුව සමග ජනතාව සහ ජනනායකයින් අතර තිබූ දුරස්ථභාවය අඩු වී ඇත. ඉතිහාසයේ පාලකයන් ගැන තොරතුරු දැනගන්නට ජනතාවට විශාල විවෘත අවස්ථාවක් තිබුණේ නැත. පාලකයන් ගැන ප‍්‍රතිරූපය ගොඩනැගුණේ ඔවුන් කරන කියන සහ තීරණ ගන්නා ආකාරය අනුව නොව නිකුත් කරන නිල නිවේදන අනුවය. ජනතාවගෙන් දුරස්ථව බරපතල ප‍්‍රතිරූප සහිතව තේජසක් තිබූණේ ඉතිහාසයේ ජීවත්වූ නායකයින්ටය. වර්තමානයේ නායකයන් හැසිරෙන සහ තීන්දු ගන්නා ආකාරය ජනතාවට විවෘතව පෙනේ. අවධානයෙන් සිටින මාධ්‍ය ජාල ඉතා සූක්ෂමව නායකයින්ගේ තොරතුරු විවිධ පැති වලින් ජනතාව හමුවේ තබයි. මෙම තොරතුරු එකිනෙකට වෙනස් ඒවාය. ජනතාව දැනුවත් කරන්නේ තීරණ වලින් පමණක් නොවේ. අභ්‍යන්තර තොරතුරු, හැසිරීම සහ පෞද්ගලිකත්වය පවා අනාවරණය කරයි. ගෞරවයට පාත‍්‍ර විය යුතු මහජන නියෝජිතයන් ගේ චරිත ස්වභාවය තියුණු උපහාසාත්මක එකක් බවට පත්ව තිබේ.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක මහජන නියෝජිතයන්ට ජනතා කැමැත්ත ඉතාම වැදගත්ය. රූපවාහිනියේ, ගුවන් විදුලියේ හෝ පුවත්පතක ප‍්‍රවෘත්තියක් වීම ජනතා කැමැත්ත ඇති කරන අවස්ථාවකි. ප‍්‍රවෘත්ති ආවරණයකට හේතු වන්නේ සුවිශේෂී අවස්ථා පමණකි. අනෙක් අයට වඩා වෙනස් ආකාරයකට කතා කරන්නට සහ ආන්දෝලනයක් ඇති කරන ආකාරයට ක‍්‍රියා කරන්නට අවශ්‍යය. මාධ්‍ය මගින් දැනුම අවබෝධය ඇති කරන බව ඇත්තකි. නමුත් ගැඹුරු සන්නිවේදන මාධ්‍ය වලට වඩා මහජනතාව කැමැත්තක් දක්වන්නේ සරල සැහැල්ලූ විනෝදය ඇති කරන වැඩසටහන්වලටය. මහජනතාවගේ කැමැත්ත අනුව මාධ්‍ය වැඩසටහන් සම්පාදනය වන අතර මාධ්‍ය අවධානය ගන්නට නම් ඔවුන් ඉල්ලන ආකාරයට හැසිරෙන්නට ජනතා නායකයින්ට සිදුව තිබේ. මේ අනුව මහජන ගෞරවය වෙනුවට ජනප‍්‍රියත්වය ගැන සිතන දේශපාලන ක‍්‍රමයකට රට පරිවර්තනය වී තිබේ. දේශපාලන නායකයින්ගේ එකිනෙකට වෙනස් සරල හැසිරීම් වාර්තා කර ජනතාව අතර වැඩිම අවධානය ගන්නට මාධ්‍ය ආයතන තරග කරමින් සිටී. වැඩිම අවධානයක් ඇති මාධ්‍ය ආයතනයට වැඩිම දැන්වීම් ප‍්‍රමාණයක් ලැබේ. එය ශ‍්‍රී ලංකාවේ පමණක් නොව ජාත්‍යන්තරයේ ද සිදුවෙමින් පවතින බව නිරීක්ෂණය කරන විට පෙනේ.

තමන්ගේ නායකයන් හෑල්ලූ කර ඔවුන් ගේ අනන්‍යතාවය විකෘති කිරීමෙන් සමාජයට ඉදිරි ගමනක් නැත. නමුත් මාධ්‍ය එය කරන්නේ තමන්ගේ වැඩිම අළෙවිය වෙනුවෙන්ය. වැඩිම අළෙවිය ඇති මාධ්‍ය ආයතනයක ප‍්‍රවෘත්ති අවධානයක් ගන්නට දේශපාලන නායකයන් හැසිරෙමින් සිටී. මෙවැනි රාමුවක් ඇති සමාජයක දුටුගැමුණු, පරාක‍්‍රමබාහු හෝ ඞී.එස් සේනානායක වැනි නරපතීන් ජීවත්වූවානම් සිදුවිය හැක්කේ කුමක්ද යන්න බරපතල ගැටලූවකි.
වගකිව යුතු සම්ප‍්‍රදාය තහවුරු කරන්නේ කෙසේද යන්න ගැන ජනතාව, මාධ්‍ය සහ දේශපාලන නායකයින් අතර සංවාදයක් අවශ්‍යව තිබේ. මාධ්‍ය වලට ගැලපෙන ආකාරයට ජන නායකයින් හැසිරීම සහ ජන නායකයන්ගේ හැසිරීම හුවා දක්වා ජනතාව බලන නාලිකා, අහන ගුවන් විදුලි හෝ කියවන පත්තර බවට පත්වීම පවතින අවශ්‍යතාවය දැයි මෙම සංවාදයේ දී කැඩපත හමුවට පැමිණ විමසා බැලීම අප සියලූම දෙනාගේ වගකීමකි. ජනතා ගෞරවය විනා අන් කිසිවක් වැදගත් නැති බව අවබෝධ කරගත යුතු පළමු කාරණයයි.

Advertisements