milinda-prashna

2014/11/12 – ලංකාදීප- මිලින්ද මොරගොඩ

ජාත්‍යන්තරයේ බලවත් රාජ්‍ය අතර ඉන්දියාවට ද නිශ්චිත ස්ථානයක් තිබේ. මෙම බලවත් රට තුළ දුප්පත්කම බලවත් සමාජ ප‍්‍රශ්නයකි. මහ මග අධික ශීතලෙන් සහ කුස ගින්නෙන් නිරාහාරව මියයන පිරිසක් ද ඉතාම පොහොසතුන් ජීවත් වන සහ ඉතාම බලවත් රටවල් අතර උරෙනුර ගැටෙන ඉන්දියාවේ සිටී. මෙම පසුබිම දකින ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි මහතා දුප්පත්කම දුරු කිරීම නොව සහමුලින්ම තුරන් කිරීමේ ප‍්‍රමුඛ මෙහෙයුමක වැදගත්කම පෙන්වා රටට දෙයි.

අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස ලබන වකවානුවේ ඉන්දියාවේ එවකට දරිද්‍රතාවය සමස්ථ ජනගහනයෙන් සියයට හැටකි. දශක හයකටත් වැඩි කාලයක් අවසානයේ දී ඉන්දියාව පර්වර්තනයකට මුහුණ දී ඇත. නමුත් එරට දුගී දුප්පත්කම තවමත් එරට ජනගහනයෙන් සියයට තිහක ප‍්‍රතිශතයකි. දුප්පත්කම සහමුලින්ම තුරන් කර ඔවුන් උසස් ජීවන තත්ත්වයකට පත්කරන්නට තවත් අවුරුදු හැටක් කල් ගත කළ නොහැකි බව නරේන්ද්‍ර මෝදි මහතා තදින් අවධාරණය කරයි.

සැලසුම් සකස් කරන්නට තද සැලකිල්ලක් දැක්වීම දුප්පත්කම තවදුරටත් පවතින්නට එක ප‍්‍රබල හේතුවක් බව මෝදි අගමැතිවරයා විශ්වාස කරන බව පෙනේ. සැලසුම වෙනුවට කි‍්‍රයාත්මක භාවය වැදගත් බව දක්වන එතුමා දුගීකමට සහන සහ සමාජවාදී රාමුව වෙනුවෙන් තවදුරටත් පෙනී සිටින පදනම් බලරහිත කරමින් සිටී. ඉන්දියානු සැලසුම් කොමිසම අහෝසි කිරීම ඒ අනුව ගත් බලවත් තීන්දුවකි. ඉන්දියාවේ පළමු අගමැති ජවහල් ලාල් නේරු නිදහස ලබා ගැනීමත් සමග රටට සැලසුම් කොමිසමක් පිහිටුවන්නේ එය ඉන්දීය ව්‍යවස්ථාවටත් ඇතුලත් ප‍්‍රධාන ආයතනයක් වශයෙන්ය. නමුත් මෑත කාලය තුළ ජාත්‍යන්තරය ගමන් කළ ආකාරය දෙස නිරීක්ෂණය කරන නව අගමැතිවරයා එවැනි සැලසුම් කොමිසමක් අනවශ්‍ය ආයතනයක් බව දක්වා ඉවත් කරන්නේය. තද නිලධාරීවාදයක් ඇති කරන ව්‍යුහයක් වන අතර එය අහෝසි කිරීම ආයෝජනය සහ මහා පරිමාන ව්‍යවසාය වෙනුවෙන් ඇති අවහිර ඉවත් කිරීමක් වශයෙන් සලකයි. ආයෝජකයන්ට සිදුවන බාධා ඉවත්වන සහ අනුමැතිය ස`දහා අනවශ්‍ය ආකාරයට බල කරන සැලසුම් කොමිසම වෙනුවට ඉක්මන් තීරණ ගැනීම සහ ක‍්‍රියාත්මක භාවයට ඉඩ සැලසීම වැදගත් බව අවධාරණය වෙයි.

වර්තමාන ඉන්දියාවේ ආර්ථික ප‍්‍රතිපත්ති අනුව මහා පරිමාන ව්‍යාපාර ජාල ඉහළ තලයේ සිට මෙහෙයවන අතර බිම් මට්ටමේ දී ව්‍යවසායකත්වය වෙනුවෙන් ප‍්‍රධාන අවස්ථා ඇති කරයි. පුද්ගලික අංශය සතු වගකීම් පුලූල් කරයි. ආණ්ඩුව මෙහෙයැවිය යුතුය යන සංකල්ප වලින් ඉවත් වෙමින් තිබේ. සමාජවාදී අර්ථ ක‍්‍රමයේ දැක්වෙන මූලික සංකල්ප වෙනුවට ධනවාදී රාමුවට ප‍්‍රවේශවෙයි. නිලධාරීවාදයේ සහ සමාජවාදයේ බලවත් සංකේතයක් වූ සැලසුම් කොමිසම අහෝසි වන්නේ ඒ අනුවය. මෙතෙක් තීන්දු ගත් සම්ප‍්‍රදායික නිලධාරී ක‍්‍රමය සහමුලින්ම පාලනය කර වෙළ`ද පොල අවශ්‍යතා අනුව තීරණගන්නා ආර්ථික ක‍්‍රමයක් තුළ දුප්පත්කම සහමුලින්ම නැතිකර දැමීම අලූත් දර්ශනයයි. අපනයනය වැඩි කරන අතර ලෝකයට විකුණන්න ඉන්දියාවේ නිපදවන්නයැයි අලූත් සංකල්පයක් ඇතිකර තිබේ.

දුගීකම ලෝකයේ සෑම රටකටම බලපා ඇති ගැටලූවකි. දරිද්‍රතාවය තුරන් කිරීමට නෛතික වශයෙන් බලපාන කරුණු සම්බන්ධව අධ්‍යනයක් කරන ලද ජගත් ආර්ථික සංසදය හරි දිළි`දු භාවය හරි අඩකින් අඩුකරන්නට ගත යුතු උපාය මාර්ග නිර්දේශ කර තිබේ. එසේ තිබිය දී තව දුරටත් සැලසුම් සකස් කරමින් සාකච්ඡුා කරන්නට කල් නැති බව දක්වන ඉන්දියාවේ අලූත් අගමැතිවරයා ක‍්‍රියාත්මක විය යුතු ආකාරය ගැන නව දැක්මක් හෙළි කරන අතර සහ බිම් මට්ටමේ සිට ව්‍යවසායකත්වය වර්ධනය කළ යුතු බව දක්වන විට ඒ ගැන අවධානය යොමු කිරීම අවශ්‍යය. ආණ්ඩුවේ ආයතන පද්ධතිය මෙහෙයවා සමාජයක් දුගීකමින් මුදවා ගැනීම වෙනුවට සමස්ථ සමාජය සම්පූර්ණ ශක්තිය මෙහෙයවා සියලූ දෙනාගේ ජවයෙන් නැගී සිටීම යනු සංකල්ප දෙකකි. මේ අතරින් වඩා ඵලදායී ලෙස සමාජය මෙහෙයවන්නට සමත්වනු ඇත්තේ කුමක්දැයි විමසා බැලීම ශ‍්‍රී ලංකාවට ද වැදගත් වනු ඇත.

Advertisements