milinda-prashna

2014/10/29 – ලංකාදීප- මිලින්ද මොරගොඩ

ප‍්‍රතිඵලයක් ලබා ගන්නට නම් ක‍්‍රියාවක් තිබිය යුතුය. යහපත් කි‍්‍රයාකාරකමකට හො`ද ඵලයක් ලැබෙයි. අස්වැන්න හො`ද එකක් වන්නේ වපුරන තරමටය. මෙහිදී ‘තරමටය’ යන්නෙන් කියැවෙන අදහසට වඩා නොකියැවෙන දහසක් අදහස් අනාවරණය කෙරෙයි. ජන සමාජය සාකච්ඡා නොකරන සහ අවධානයට නොගන්නා පැත්ත එයයි.
ශ‍්‍රී ලංකාව කෘෂිකාර්මික රටකි. අපගේ උරුමය ආහාර නිෂ්පාදනයයි. ජන සංස්කෘතියට සහ අනන්‍යතාවයට ගොවිතැන පදනම් වී තිබේ. අතීතයේ පටන් පැවැත්ම සකස්වී ඇත්තේ ගහ කොළ සතා සිව්පාවා සමගය. සමාජය සංකීර්ණ වී කාර්ය බහුල තැනක් බවට පත්වන නමුත් මූලික රාමුවෙන් බැහැර නොවේ.

ගොවිතැන සහ එහි පියවර ගැන අවබෝධයක් ඇත්තේ ගොවිකමින් ජීවනෝපාය සලසා ගන්නා අයට පමණක් නොවේ. වපුරන වහා අස්වැන්න ලබා ගත නොහැකි බව පොදු අවබෝධයයි. වපුරන්නට නම් බිම සකස් කර ගත යුතුය. පස පෙරලා වැට කොටු තනා වගා කරන බව බෝග අනුව බිම සකස් කර ගත යුතුවෙයි. බිම සකස් කරන විට වැහි කාලය එළැඹෙන බව දැන අවබෝධයෙන් නිසි කලට වැසි අපේක්ෂා කරයි. එය හුදෙකලා කාර්යයක් නොවේ. කණ්ඩායම් හැ`ගීමෙන් එකට එකතු වී කුඹුරු යායක් නොඑසේනම් හේන් යායක් ලෙස මූලික වැඩ කරගැනීම සිදුවෙයි. බීජ වර්ග තෝරා ගැනීම, ඒවා පැලකරන හෝ කෙලින්ම වපුරන ආකාරය, පැල සිටුවීමෙන් හෝ බීජ වැපිරිමෙන් ඉනික්බිති පොලවට මුල් ඇද ශක්තිමත්වන තෙක් රැක බලාගත යුතු ආකාරය සුවිශේෂීය. පොහොර යොදන්නට අවශ්‍යය. කෘමි හානි වලක්වා ගත යුතුය. මේ වෙනුවෙන් විශාල වෙහෙසක් දරන්නට සිදුවෙයි. කුඩා කෘමියා ගේ සිට දැවැන්ත වන සතුන් දක්වා පරාසයක ආක‍්‍රමණිකයන්ය. මහත් වැර වෑයමකින් වගා කරන භෝග ඵල දරන කාලය දක්වා පරාසය කැපවීමෙන් ඉවසා සිටින්නට සිදුවෙයි.

කාලගුණය හෝ වෙනත් බාධා මතුවුවහොත් කන්නයක් අතහරින්නට සිදුවෙයි. අස්වැන්න සරු වූ විට නෙලා අටු කොටු පුරවා ගන්නා තෙක් ගොවිතැනෙහි දී මෙම පියවර ගණනාව වෙනුවෙන් කරන මහන්සිය තක්සේරු කර වටිනාකමක් නියම කිරීම අපහසුය.ගොවියන් තුළ ක්ෂේත‍්‍රය ගැන ඇති දැනුම අවබෝධය සහ ශික්ෂණය හෙයින්ම ශ‍්‍රී ලාංකේය ජන සමාජය තුළ ඔවුන් කෙරෙහි බලවත් ගරුත්වයක් පවතී. පාරම්පරික ගොවිතැනේ සිට යාන්ත‍්‍රික ක‍්‍රමය දක්වා වර්තමානයට ගමන් කරන විට නවීන ක‍්‍රම සහ තාක්ෂණය යහමින් බලපවත්වන්නේය. නවීන පර්යේෂණ උපයෝගී කර ගැනෙන්නේය. මානව සම්පත උපයෝගී වන ආකාරය පරිවර්තනය වන්නේය.

පවතින සමාජ ව්‍යුහය තුළ මෙම සදාතනික පැවැත්ම සම්බන්ධයෙන් අනුකූලතාවයක පිහිටීම වැදගත්ය. ශ‍්‍රී ලංකාව සාරවත් දේශයකි. සමාජය අනන්‍ය සංස්කෘතික ලක්ෂණ වලින් සමන්විතය. විවිධ අභියෝග සහ අසාධාරණකම් වලට දේශය ගොදුරු වී තිබේ. මෙම මූලික රාමුව තුළ පිහිටමින් ජාත්‍යන්තර සමාජයේ අන් රටවල් මෙන් දියුණු වී සැනසිලිදායක තැනක්කර ගන්නට අවශ්‍යය. නිදහසට පසු කාලසීමව තුළ බිම සකස් කර බව භෝග වපුරා තිබේ. නොයෙක් අභ්‍යන්තර සහ බාහිර බලපෑම් රටට එල්ලවිය. ත‍්‍රස්තවාදය වැනි උපද්‍රව සහ සුනාමි වැනි කාලගුණ ප‍්‍රශ්න වලට ද මුහුණ දී තිබේ. පාලනය කරන්නට හැකි තර්ජන පමණක් නොව පාලනය සම්බන්ධයෙන් අවබෝධයක් ඇති කරගන්නට අසමත්ව සමාජය නොසන්සුන් වූ අවස්ථා ගණනාවකි. නිදහසින් පසු ගෙවී ගිය කාලයෙන් හරි අඩක් රට සංවර්ධනය නමැති වැපිරීම ත‍්‍රස්තවාදය හෙයින් ප‍්‍රමාද වූ බව පැහැදිලිය.

පසුගිය කාලය තුළ යටිතල පහසුකම් මැනවින් සකස් කර තිබේ. එය කෙත් බිම් සකස් කිරීමයි. හො`ද මානව සම්පත් වෙනුවෙන් සහ ආයෝජනය වෙනුවෙන් ආණ්ඩු ක‍්‍රියා කර ඇත. දුගී දුප්පත් තත්ත්වයක සිට මැදි ආදායම් රටක මට්ටමට පැමිණෙන්නට හැකියාව ලැබී ඇත. එය පුරවැසි ජනී ජනතාවගේ අප‍්‍රමාණ කැපවීමේ ප‍්‍රතිඵලයකි. නිසි අස්වැන්න ලැබෙන්නේ මතුවටය. මතු පරපුරටය. ඒ වෙනුවෙන් ආකල්ප සකස් කිරීම අවශ්‍යය. ඒ වෙනුවෙන් අවබෝධයක්, ඉවසිල්ලක් සහ පැවැත්ම සම්බන්ධ විශ්වාසයක් රටට අවශ්‍යය.

Advertisements