milinda-prashna\

24.09.2014 -ලංකාදීප- මිලින්ද මොරගොඩ

රටක් දියුණු වන විට සමාජයට අත් දැකීම් බහුල පුද්ගලයන් අවශ්‍යය. එම අත්දැකීම් උපයෝගී කරගෙන මෙහෙයැවෙන්නට තරුණ බලකායක් සිටීම ද බලවත් අවශ්‍යය තාවයකි. නමුත් රට තුළ සිදුවන මාර්ග අනතුරු ගැන නිරීක්ෂණය කරන විට රටට අහිමි වන ජීවිත වලින් වැඩිම කොටසක් මෙම තිරණාත්මක ජන කොට්ඨාශ බව පැහැදිලිව දැකිය හැකිය. වයස අවුරුදු 26-30 අතර සහ අවුරුදු 51-55 අතර වයස් පරතර වල පිරිස මහා මාර්ග වල සිදුවන වාහන අනතුරු වලින් මියයන පිරිස අතර ඉහළම ප්‍රතිශතයකි. ජීවිතක්ෂයට පත්වූ වැඩිම ප්‍රමාණයක් පදික වේදිකාවේ ගමන් කරමින් සිටි සහ යතුරු පැදි අනතුරු වලින් බව ද අනාවරණය වෙයි. මාර්ග අනතුරු බහුලව සිදුවීම සම්බන්ධව සොයා බලා කරුණු යෝජනා කරන්නට පත්කරන ලද පාර්ලිමේන්තු කමිටුවේ වාර්තාව අනුව හෙළිදරව් වන එම කරුණු දෙක ගැඹුරෙන් විශ්ලේෂණය කිරීම වැදගත්ය.

මෙයට අමතරව සෞඛ්‍ය අමාත්‍යංශය මෙම කමිටුවට වාර්තා කර ඇති දත්ත අනුව අවුරුද්දකට රුපියල් මිලියන දහයක පමණ මුදලක් මාර්ග අනතුරු වලින් තුවාල ලබන අයට පරාර තිකාර වෙනුවෙන් වැයවන අතර කොළඹ ජාතික රෝහලට ඇතුලත් කරන රෝගීන්ගෙන් හතරෙන් එකක් මාර්ග අනතුරු වලට ලක් වූ අයයි. එයින් සියයට හැත්තෑවක් වයස අවුරුදු 15-45 අතර වටිනා ජීවිත බව ස`දහන්ය. මෙම මාර්ග අනුතුරු හෙයින් අවුරුද්දකට රුපියල් බිලියන 130 ක පමණ ජාතික ධනයක් රටට අහිමි වන බවද ගණන් බලා තිබේ.
මැදි ආදායම් රටක් බවට පත්වන විට තමන්ටම වාහනයක් හිමිකර ගැනීමේ අවශ්ය තාව සමාජයේ සියලූම දෙනාට පොදුය. පොදු ප්‍රවාහන සේවා ප්‍රමාණවත් සේවාවක් සපයන්නේ නැති සහ කලට වේලාවට තමන්ගේ කාර්ය ඉටු කරගැනීමට ඇතිවන තර`ගය තමන්ගේ වාහනයකින් ඉක්මනින් ඉටු කරගැනීමට යුහුසුලූ වෙයි. මාර්ග තදබදය සහ එයින් අහිමි වන කාලය බලවත් හදිසියක් ඇති කරයි. සුළු මොහොතක වැරැද්ද වටිනා ජීවිත රටට අහිමි කරයි. දිනකට ජීවිත පහත් හයත් අතර ප්‍රමාණයක් මාර්ග අනතුරු නිසා මිය යන බව දැක්වෙයි. අනතුරු හෙයින් මියයයන පිරිස පමණක් නොව ආබාධිත හා බෙලහීන තත්ත්වයට පත්වන පිරිස ද සුළු පටු නොවේ. මාර්ගස්ථ හදිසි අනතුරු වල පසුබිම එයයි.

නමුත් වාහන අධික වූ පමණනින් සහ ආර්ථිකය දියුණු වී ජනතාව අතරින් වැඩි දෙනෙක් වාහන පරිහරණය කරන්නන් වූ පමණින් අනතුරු වැඩිවන බව පිළිගත නොහැකිය. ලෝකයේ දියුණු රටවල් රථවාහන තදබදය පමණක් නොව මහජනතාවගේ හැසිරීම් ද කළමනාකරණය කරගෙන තිබේ. නොයෙක් පර්යේෂණ වලින් සහ අලූත් රීති ඇති කිරීමෙන් අනතුරු අවම කරගෙන ජීවිත ආරක්ෂා කරගෙන ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානය 2011-2020 මහ මග සුරක්ෂිත භාවය තහවුරු කිරීමේ දශකයක් ප්‍රකාශයට පත් කර තිබේ.

පොලිසිය යොදවා රථ වාහන වේග සීමා ඇති කිරීම සහ නීති පනවා ඒවා උල්ලංඝනය කරන්නන්ට නඩු පැවරීම පමණක් ප්‍රමාණවත් නැත. වාහනය ධාවනය කරන්නන් සහ මහ මාර්ගයේ ගමන් කරන්නන් ද නිවැරදි විනයකට අනුව ක්‍රියා කළයුතුය. රථයක් පදවන විට එය කරන්නට ඇති සුදුසුකම තමන්ම අවංක ලෙස ප්‍රශ්න කළ යුතු අතර මහ මග යනෙන පොදු ජනතාව ද මහා මාර්ගය භාවිතයේ දී උපරිම සැලකිල්ලකින් ක්‍රියා කිරීම අවශ්‍යය.
පොදු ප්‍රවාහන සේවා ශක්තිමත් කිරීම මාර්ග අනතුරු අඩු කරන්නට සහ මහ මග මාර්ග තදබදය සීමා කරන්නට බෙහෙවින් ඉවහල් වෙයි. පොදු ප්‍රවාහන සේවාව මෙරට ජනතාවගේ සුරක්ෂිත සහ කාලය කළමනාකරණය කරන එකක් බවට පත් කල හැකි නම් තමන්ගේ වාහනයකින් පාරට බැස වේගයෙන් හෝ අපරීක්ෂාකාරීව රිය පැදවීම සීමා සහිත වනු ඇති බව ද අවධානයට ගත යුතුව ඇත.

Advertisements