milinda-prashna

2014.06.25 – ලංකාදීප – මිලින්ද මොරගොඩ

අවිචාරසමය ප‍්‍රකට සිංහල නවකතාවකි. අනේකවිධ ගැටලූ හෙයින් චරිත මුහුණ පාන අස්ථාවර සහ අභියෝගාත්මක අවස්ථා බහුලවන ආකාරයට ඩබ්. ඒ. සිල්වා ශූරීන් නවකතාව නිර්මාණය කර තිබේ. කතාන්තරයට අනුව නොයෙක් ගැටලූ පැන නැගෙන නමුත් අවිචාරය පරාජය කර විචාරය ජයගනී. චාරයක් නැති ආකාරයට සිදුවීම් පැන නැගෙන විට එය අවිචාරසමයකැයි කියන්නට සමාජය හුරුවී සිටී. උසස් සමාජ සම්මුතියට අනුව අපට විචාරයක් තිබිය යුතුය. අපට අප ගැනම විචාරයක් නැති තැන අවිචාරයක් ඇතිවෙයි. මනුෂ්‍ය ජීවිතය සත්වයන් අතරින් වෙනස් වන්නේ විචාරයට සමත් නිසාය. උසස් මනසක් ඇති සහ හො`ද නරක දැන විචාරවත් බවට සමත්හෙයින් මිනිසුන් වන්නේය. විචාරවත්ව පිළිගත් සමාජ සම්මුතීන් ආරක්ෂා කරනවිට ලෝකය යහපත් තැනක් බවට පත් වෙයි.
ජන සම්මුතිය සහ චිරාගත සම්ප‍්‍රදාය ශ‍්‍රී ලාංකේය අනන්‍යතාවයයි. ආගමික විනය එයට විශාල අනුබලයක් වී තිබේ. පැවැත්ම තුළ ප්‍රෞඩ ඉතිහාසයක් ගොඩනගා ඇති නමුත් රට තුළ නොයෙක් අභියෝග පැන නැගී ඇති අවස්ථා ඇත. සමගියෙන් රැස්වන්න, සමගියෙන් සාකච්ඡා කරන්න සහ සමගියෙන් විසිරයන්නැයි දේශනා කළේ බුදු රජාණන්වහන්සේය. බුද්ධ දේශණාවෙන් පෝෂණය වූ මෙරට සමාජය ලෝකයේ අන් කිසි තැනෙකට වඩා සම්ප‍්‍රදායෙන් සහ ඉතිහාසගත අත්දැකීම් වලින් පොහොසත්ය. අන්‍ය ආගම්වල පවා සංයමය, විනය සහ අනුන් සමග බෙදා හදා ගැනීම ගැන කියැවෙයි. නමුත් අනපේක්ෂිත අවස්ථාවල චාරයක් නැති සිදුවීම් වාර්තාවෙයි. එවැනි අවස්ථාරටත්,සමාජයත් අපහසුතාවයට පත් කරයි.
විවිධ ආගම්, විවිධ ජාතීන් සහ විවිධ පසුබිම් සහිතව එක රටක් තුළ ජීවත්වන විට අනෙක් පාර්ශවයේ ශක්තිය සහ දුර්වලතා හ`දුනාගන්නට අවශ්‍යය. අනෙක් පාර්ශවය සමග ගනුදෙනු කිරීමේ දී මතු වූ ගැටලූ බරපතල අර්බුද දක්වා වර්ධනය වූ අවස්ථා තිබේ. අවුරුදු තිහකට කලින් උතුරේ සිදුවූ සිදුවීමක් මරාගෙන මැරෙන ත‍්‍රස්තවාදයක් දක්වා වර්ධනය වනු ඇතැයි එදා කල්පනා කළේ නැත. සිංහල දෙමල ජාති බේධයකින් පාඩමක් ඉගෙන ගත් රටට වරින් වර පැන නැගෙන සිංහල මුස්ලිම් බේධ ජාතිවාදී ස්වරූපයකට හැරී විශාල විනාශකාරී තත්ත්වයක් ඇති කළ යුතු නැත.
ප‍්‍රශ්නයකට උත්තර අවශ්‍යය. ගැටලූවකට විස`දුම් සොයා ගත යුතුය. පාර්ශව දෙකකට එකට එකතු වී සාවධානව ක‍්‍රියාකරන්නට නොහැකි නම් එය චාරයක් නැති කමකි. බුද්ධිමත් සමාජයට තර්ක කරන්නට අවශ්‍යය. පදනමක් ඇති තර්කයකින් සත්‍යය අනාවරණය වෙයි. යටත් විජිත කාලයේ දී අධිරාජ්‍යවාදී අන්‍යාගමීකරණයට එරෙහිව මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිපාණන් ප‍්‍රමුඛ බොදුනුවන් ගේ පංච මහා වාද ඉතිහාසයට එක්ව තිබේ. මෙකී විවාද බලවත් මතයක් පතුරුවන්නේඅන්‍යයන්ගේ චරිත ඝාතනයෙන් සහ අපහාසයෙන් කරුණු දැක්වීමෙන් නොවේ. නමුත් අද සමාජයේ පැවැත්වෙන බොහෝ විවාදයක,තර්කයකට ඉඩක් නැත. දක්ෂ ලෙස කරුණු දක්වා පදනමක් සහිතව තර්ක කරන බුද්ධිවන්තයෙකු පරාජය කරන්නට වාචාලත්වයට හැකියාව ලැබී තිබේ. සමාජයේ බහුතර බුද්ධිමතුන් ගේ හ`ඩ පරදවා විශාල හ`ඩක් නගන්නට ඝෝෂාකාරී කුඩා කණ්ඩායමකට හැකියාව ලැබී ඇත.
පරම්පරා ගණනක් විනාශ කළ යුද්ධයක් අවසානයේ සාමකාමීබව අපේක්ෂා කරන සමාජයක් වශයෙන් ශ‍්‍රී ලංකාවේ ජන සමාජය වගකීමක් ඇතිව ක‍්‍රියා කළ යුතුය. අවිචාරවත් විය යුතු නැත. උද්වේගකර අවස්ථා වලට මුහුණදිය යුතු හැ`ගීම් වලින් නොවේ. යථාර්ථය අවබෝධ කරගෙන තීන්දු ගැනීම අවශ්‍යය. තාර්කිකව හිතන්නට අවශ්‍යය. යමක් ගැන තීන්දු ගැනීම පමණක් නොව තීන්දුවට පසු ඇතිවිය හැකි ප‍්‍රතිඵලය ගැන ද පූර්ව විනිශ්චයකට යා යුතුය. විනාශයක් ඇති කිරීම පහසුය. විනාශකාරී තත්ත්වයකට පසු නැවත පුනර්ජීවනයක් ඇති කිරීම පහසු නැත. සම්මුතියට ගරු කරන බුද්ධිමත් නිහ`ඩ බහුතර ජනී ජනයා එකමුතු විය යුතු කාලයකි. විචාරයක් නැති කමට එරෙහිව එකතුවීම දුර්වලකමක් නොවේ. එවැනි එකමුතුවක බලය පැසසුමට ලක් කළ යුතුමය.

Advertisements