milinda-prashna

2014/05/07- ලංකාදීප-මිලින්ද මොරගොඩ

පෙනෙන ආකාරයට වර්තමාන ජන සමාජය තුළ විශාල හදිස්සියක් තිබේ. පාරේ පදික වේදිකාවේ ගමන් කරන විට අනෙක් අය කලබලයට පත් කරමින් ඔවුන් පසු කරන්නට අප කැමැතිය. මහ මග වාහනයක් පදවන්නේ තර`ගයකින්ය. ඕනෑම නීතියක් කඩ කර ඉක්මනින් තමන්ගේ ගමන යාම ඉලක්කය වී ඇත. මාර්ග වර්ණ සංඥා අසල නතර වන වාහනයක සුළු ප‍්‍රමාදයක් හෝ ඉවසන්නට බහුතරයක් රියැදුරන් කැමැති නැත. පෝලිමක ගමන් කරමින් තමන්ගේ වාරය එනතුරු බලා සිටිය යුතු අවස්ථාවක නම් එහෙම නැතිව කෙසේ හෝ ඉක්මනින් තමන්ගේ වාරය උදා කරගැනීමට ඇතැමෙකු උනන්දු වනු පෙනේ. මෙවැනි ඉක්මන් බවක් ඇත්තේ ඇයි?

සිංගප්පූරුවේ පදික වේදිකාවක අඩි හැටක දුරක් සාමාන්‍යයෙන් තත්පර 10.5 කින් ඇවිදගෙන යන බව ජාත්‍යන්තරව කරන ලද පර්යේෂණයකට අනුව දැක්වෙයි. එම දුර ප‍්‍රමාණයම බහරේන් හි දී ඇවිදීමේ දී තත්පර 18 ක් සහ මලාවි රාජ්‍යයේ දී තත්පර 31ක කාලයක් ගතවන බව ගණන් බලා ඇත. මෙම දත්ත එකතුකර ඇති පර්යේෂකයන් ඇවිදීමේ වේගය සහ රටක සංවර්ධනය අතර යම් සමාන කමක් ඇති බව දක්වන්නට උත්සාහ කරයි.

සිංගප්පූරුව දියුණු වූයේ වේගයෙන් ඇවිදීම පමණක් නොව මහන්සි නොබලා වැඩ කිරීමෙන්ය. දැනට ඒක පුද්ගල ආදායම අතින් ලෝකයේ පළමු රටවල් පහ ඇතුලත සිටින සිංගප්පූරුව මෙයින් දශක පහකට කලින් පසුවූයේ ශ‍්‍රී ලංකාවට පිටුපසින්ය. අදටත් සිංගප්පූරුවේ වැසියෙකු දිනකට පැය දොලහක් පහලොවක් වැඩ කරයි. නිවාඩු ගැන අඩුවෙන් සිතන අතර අයිතිවාසිකම් වලට වඩා කතා කරන්නේ තමන්ගෙන් විය යුතු යුතුකම් ගැන බව අදටත් දැකිය හැකිය. මලාවි රට තුළ පවතින තත්ත්වය එහි අනෙක් පැත්ත බව පෙනේ. සිංගප්පූරුව පමණක් නොව ආසියාවේ බොහෝ රටවල් පසුගිය දශක කිහිපය තුළ වේගවත් දියුණුවක් ලබා තිබේ. කැපවීමෙන්, වෙහෙස නොබලා වැඩ කිරීම ඔස්සේ ලබාගත් සාර්ථකත්වය මෙම ප‍්‍රගතිය පිටුපස ඇති බව පැහැදිලිව පෙනෙන ලක්ෂණයයි.

ශ‍්‍රී ලංකාව ගැන කල්පනා කළ යුතු කෙසේද? මහ මග හැසිරෙන ආකාරය අනුව අපට අප‍්‍රමාණ හදිස්සියක් ඇත. දුම්රියක් අතරින් රිංගා හෝ ඉක්මනින් යන්නට පමණක් නොව අධික වේගයෙන් ගමන් කරමින් ඉක්මනින් ගමන අවසානයක් දකින්නට මෙරට ජනතාවට ඇත්තේ ද එවැනි හදිස්සියකි. එය ඇත්තේ ඉක්මනින් වැඩ කර තමන්ටත් රටටත් අර්ථයක් කරගන්නටද? පැහැදිලිවම නැත.

කාර්යාලක වැඩ කරන්නේ එවැනි ඉක්මනකින් නොවේ. යම් කාර්යයක් කරගන්නට එන පුද්ගලයාට ඇති ඉක්මන රජයේ හෝ පුද්ගලික අංශයේ ආයතනයක නිලධාරීන්ට නැත. පුද්ගලික අංශයේ කාර්යාලයක කාර්ය ඉටුවන සාමාන්‍ය වේගයක් ඇතත් තර`ගයක් නැති හෙයින් එය ගුණාත්මක අන්දමට වර්ධනය නොවේ. ඵලදායීතාව සහ කාර්යක්ෂමතාව ගැන සිතන්නේ නැත. මෙහි අවසාන ප‍්‍රතිඵලය දැන් රටට අත්පත්ව ඇත. ආර්ථික දියුණුව වේගවත් නැත. නිෂ්පාදනය අවශ්‍ය තරමට වැඩිවන්නේ නැත. නමුත් ඉක්මනින් යන මහජනතාව නිතර හදිසි අනතුරු වලට ගොදුරු වෙයි. සමාජය තුළ ඉවසිල්ල සහ සැනසිල්ල අඩුය. ප‍්‍රශ්න වලට විස`දුම් සොයන්නේ සාකච්ඡාවෙන් සංවාදයෙන් නොවේ. ගැටුමෙන් සහ බලහත්කාරයෙන්ය. කුඩා පිරිසකගේ ඝෝෂාව නිහ`ඩ බහුතරයකගේ මතය යටපත් කර ඇත. අපගේ ඉක්මන් ගමන් ගැන ආපසු හැරී බලන්නට අපට වගකීමක් තිබේ. ජාත්‍යන්තරයේ පැවැත්ම ඇසුරෙන් සාකච්ඡා කිරීම සුදුසුය.

Advertisements