milinda-prashna

2014/04/30 – මිලින්ද මොරගොඩ
පසුගිය දශක තුනක කාලය ඇතුලත ජාත්‍යන්තර සමාජය විශාල පරිවර්තනයකට ලක්ව ඇත. දත්ත දක්වන ආකාරයට 1981 සිට 2014 දක්වා කාලය අතර ලෝකයේ දුගී දුප්පත්භාවය අඩු වී තිබේ. දිනකට ඩොලර් දෙකකට අඩු ආදායමකින් ජීවත් වන පිරිස හරි අඩකින් පහත වැටී ඇත. අඩුම ආදායමකින් ජීවත් වූ පිරිස එයින් ඉහළ තලයේ මැදි ආදායම් ලබන මට්ටමට පත්ව සිටී. එය දියුණුවකි. දුප්පත්ව සිටි අය අතුරින් හරි අඩක් පමණ දිනකට ඩොලර් දෙකත් දහයත් අතර මැදි ආදායමක් ලබන මට්ටමට පත්වීම සමග මැදි ආදායම් ලබන ජන කොටස කැපී පෙනෙන ආකාරයට වර්ධනය වී ඇති බව මෙම තොරතුරු අනාවරණය කරන ලෝක බැංකුවේ අලූත් වාර්තා පෙන්වා දෙයි.
එසේ නමුත් ලෝක ජනගහනයෙන් කොටසක් ආර්ථිකය අතින් ඉහළ ස්ථරයකට ප‍්‍රවේශ වුව ද ඔවුන් එදිනෙදා මුහුණ දෙන ගැටලූ වල ස්වභාවය සහමුලින්ම වෙනස් වී නැත. ඒවා තවත් සංකීර්ණ වී තිබේ. දුප්පත්කම අඩු කරන්නට නොයෙක් සැලසුම් දියත් කළ ලෝක නායකයින්ට දුප්පත්කම සීමා කරන්නට හැකියාව ලැබී තිබේ. නමුත් ඒ ඔස්සේ මතුව ඇති ගැටලූවලට තවත් අලූත් වටයකින් විස`දුම් සොයා කරුණු අධ්‍යයනය කරන්නට ලෝක නායකයන්ට සිදුවී ඇත. සමාජය තුළ යම් පරිවර්තනයක් වන විට ඉහළට නැගෙන අපේක්ෂා සහ බලාපොරාත්තු වලට ගැලපෙන විස`දුම් නිර්මාණය කිරීම පහසු නැති බව මේ අනුව පැහැදිලිව සාක්ශාත් වෙමින් තිබේ.
ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය ද වර්ධනය වී ඇත. ක‍්‍රමයෙන් මැදි ආදායම් රටක තත්ත්වයට පත්ව තිබේ. එවැනි රටක සාමාන්‍ය ස්වභාවය අනුව යමින් ශ‍්‍රී ලංකාවේ ද නාගරික ජනගහනය වැඩිවී ඇත. තම අනාගතය සම්බන්ධ අපේක්ෂා තහවුරු කරගත හැකි වන ආකාරයේ පහසුකම් සහිත නගර කරා සාමාන්‍යයෙන්, මෙම මැදි ආදායම් මට්ටමට පත්වන අලූත් ජන කොටස් සංක‍්‍රමණය වෙයි. මෙම කණ්ඩායම සතු අවශ්‍යතාවන් දුප්පත් භාවයේ ගතකරනවාට වඩා වෙනස් එකකි. කුසගින්නට ආහාර සපයා ගැනීම හෝ එදා වේල සපයා ගැනීමට කරන මහන්සියට වඩා අන් යමක් මෙම මැදි ආදායම් ජනගහනය අපේක්ෂා කරයි. සමාජයේ අවස්ථා දිනා ගැනීම, අධ්‍යාපනය, සෞඛ්‍ය සහ ප‍්‍රවාහන වැනි අංශ වලින් හො`ද පහසුකම් සහිතව ජිවත්වීම වැනි කරුණු ගැන බෙහෙවින් සැලකිලිමත් වෙයි. ඔවුන් උපයන ආදායම වියදම් කරන්නට නොයෙක් පැති පවතින බැවින් ඉතිරි කිරීම් ද අඩු බව පොදුවේ පෙනෙන කාරණයකි. ඉතිරි කිරීමට ඉඩ නොදෙන ආකාරයට වියදම් කරන්නට ඇති මාර්ග බහුල මෙම මැදි ආදායම් ජන කොටසට තම අවශ්‍යතා සපුරා ගන්නට බලවත් වෑයමක් දරන්නට සිදුවෙයි.
රටක ආර්ථිකය දියුණු වන විට ඒ ඔස්සේ ජන සමාජයේ ද යම් වෙනසක් සිදුවෙයි. දුප්පත් ජනතාවගේ අවශ්‍යතා වලට වෙනස් ආකාරයේ උවමනාවන් ඇති පිරිසක් මැදි ආදායම් රටක බිහිවෙයි. මිනිසුන්ගේ බලාපොරොත්තු දියුණුවෙන්නේ ආර්ථිකයත් සමගය. මේ නිසාම මැදි ආදායමක් ලබන රටක් බවට පත්වීම උගුලක් බව ආර්ථික විචාරකයෝ දක්වති. මහජනතාවගේ අවශ්‍යතා ඉටු කරන්නට ආර්ථිකය අසමත්ය. ඉතිරි කිරීම් අඩු හෙයින් අලූත් ආයෝජන කරන්නට ආණ්ඩු අසමත් වෙයි. ආයෝජනයකින් තොරව ධනය බිහි කරන්නට හැකියාවක් නැත. ධනය නැති ආණ්ඩුවලට මහජන අවශ්‍යතා සපුරන්නට සිදුවන්නේ ණය ගැනීමෙන්ය. මැදි ආදායම් රටකට දෙස් විදෙස් ණය සහන වශයෙන් ලැබෙන්නේ නැත. ණය ගන්නට සිදුවන්නේ වානිජ පදනමකින්ය. කුසගින්නේ ජීන්‍ත්වූ මිනිසුන් වෙන්වෙන් සහන සපයන දියුණු රටවල් යමක් කමක් ඇති බව දකින රටකට සහනාධාර දෙන්නට කැමැත්තක් නැත. ජාත්‍යන්තර වානිජ බැංකු වලින් වැඩි පොලියට ණය ගන්නට සිදුවෙයි. මෙම උගුලින් මිදී අලූත් පසුබිමක් සකස් කරගන්නට නම් දේශපාලන නායකයන්ට මෙම පසුබිම ගැන පුලූල්ව හදාරන්නට අවශ්‍යය. බඩට කතා කරන දේශපාලනඥයන් වෙනුවට බුද්ධියට කතා කරන දේශපාලන නායකයින් මැදි ආදායම් රටකට වැදගත් වන්නේ ඒ අනුවය.
ශ‍්‍රී ලංකාව තවමත් ආකල්ප අතින් වෙනස් වී නැත. දේශපාලනය, සමාජය පමණක් නොව මාධ්‍ය පවා ඇතැම් විට තවමත් පසුවන්නේ මහජනතාව දුප්පත් යන අදහස ඇතිවය. දුප්පත්කමින් අඩු වූ මැදි ආදායම් රටක වැසියන්ගේ විඥාණය හ`දුනාගෙන ගැටලූ වලට අලූත් ආකාරයකට විස`දුම් සෙවීම අද ඇති අවශ්‍යතාවයකි.

Advertisements