milinda-prashna

 

12/03/2014 – මිලින්ද මොරගොඩ

මිනිහාත් හදා ගෙන රටත් හදාගනිමු යන පණිවුඩය රටට දුන්නේ අපවත් වී වදාල අති පූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහ නාහිමියන්ය. මිනිහා හදන්නට ගන්නා වෑයම කොපමණ දුරට සාර්ථක වී තිබේදැයි විමසා බලන්නට අවශ්‍යය.  කොළඹ පැල්පත්වාසී දරුවෙකුට අලූත් පාවහන් යුගලක් ලැබිණ. දරුවා එය තම හිස තබන කොට්ටය යට තබාගෙන නිදාගත්තේ පාවහන් පැළැ`ද පාසලට පිය නගන සිහිනය දකිමින්ය. නමුත් දරුවාගේ තාත්තා මේ සිහිනය වෙනත් ආකාරයකට දකිමින් සිටියේය. තමන්ට හි`ග පාඩු වූ මුදල පියවා ගත්තේ දරුවාට ලැබුණ පාවහන් යුවල නැවත අන් කෙනෙකුට විකුණමින්ය. කාන්තා සංවිධානයකින් ලැබුණ මහන මැෂිම දින කිහිපයක් යන්නට කලින් සුළු මුදලකට විකුණා යළි පුරුදු ජීවිතයට හුරු වූ කාන්තාවක් ගැන තොරතුරක් ද යන මෙම කරුණු රජයේ නිලධාරියෙකුගෙන් දැනගන්නට ලැබුණ තොරතුරුය. ධීවරයයන්ට දෙන ඉන්ධන සහනාධාර කූපන් මුහුදක් නැති නගර වලදී භාවිතා කර ඇති බව ජනපති තුමා සිය සජීවී ජනහමුවේදී ස`දහන් කළේය. අද ඊයේ සිදුවූවක් නොවේ. හාල් කූපන් පත උකස් තියා පාන් රාත්තලක් මිලදි ගත් අවස්ථා ගැන එදවස ද කියැවිණ. මේ සිද්ධි පෙන්වන්නේ දුගී දුප්පත් ජනතාවට ලැබෙන සහනාධාර වලින් කොටසක් අපේක්ෂිත අරමුණ ඉටු නොකරන බවය. නමුත් සහනාධාර සංස්කෘතියේ අවසානයක් නැත.

පවතින දේශපාලන ක‍්‍රමය තුළ මහජන කැමැත්ත දිනා ගන්නට නොයෙකුත් උපක‍්‍රම භාවිතා වෙයි. ජනතා නායකයින් තමන්ට දර්ශනයක් සකස්කර ගත යුතුය. එම දර්ශනය ජනතාව සමග බෙදා හදා ගන්නට අවශ්‍යය. පොදු ජනතාව එය තමන්ගේ දර්ශනය කරගැනීමෙන් ජනතා නායකයෝ බිහිවෙති. දර්ශනයක් සකස්කර ජනතාව සමග සංවාදයක් ගොඩනගාගන්නට නොවෙහෙසෙන ඇතැම් දේශපාලනඥයන්ගේ පහසු මාර්ගය වී ඇත්තේ ජනතාවට අස්වැන්න නෙලාගැනීමට කෙත් වතු අස්වද්දන ක‍්‍රමයකට ඇතුලූ කරනු වෙනුවට එදා වේල පිරිමසා ගන්නට යමක් අතමිට මොලවා මනාපය දිනා ගැනීමයි. එම ක‍්‍රමය දේශපාලනඥයන් අනුගමනය කරන බව දන්නා පොදු ජනතාව අතරින් යමෙකු ද දේශපාලනඥයන්ට සමීප වෙන්නේ යමක් ලබා ගැනීමේ අරමුණෙන් විනා රට දියුණු කරන සැලැස්මක් ඇති නායකත්වය කෙරෙහි ප‍්‍රසාදයෙන් නොවන බව පෙනේ.

මේ නිසාම ජන්ද පොරොන්දු මැතිවරණ වේදිකාවේ බලවත් තුරුම්පු බවට පත්ව ඇති අතර බලයට පත්වන ආණ්ඩු සහනාධාර ක‍්‍රම මත ජනතාව ජීවත් කරන ප‍්‍රතිපත්ති සම්පාදනයට වෙහෙසෙති. අවසානයේ දී රටත් ජනතාවත් පමණක් නොව රට කරවන පාලකයන් ද මෙයින් හෙම්බත්ව සිටින බව පැහැදිලිව පෙනේ.

ශ‍්‍රී ලංකාව නිදහස ලබන විට හො`ද ආර්ථික පදනමක් ඇතිව සිටි රටකි. අධිරාජ්‍යවාදී පාලකයන් ආණ්ඩුවේ වියදමින් ජනතාව නඩත්තු කළේ නැත. වෙළ`ද පොල අනුව එයට ගැලපෙන නිෂ්පාදනයක් කළ අතර මෙරට ආර්ථිකය ජාත්‍යන්තරයට විවෘත වූයේ එහි ප‍්‍රතිඵලයක් වශයෙනි. නමුත් නිදහස ලැබීම සමග බලයට පත් ආණ්ඩු අධ්‍යාපනය, සෞඛ්‍ය, ප‍්‍රවාහනය සහ ආහාර පාන වශයෙන් සියලූම දේ වෙනුවෙන් මහජනතාවට සහනාධාර දෙන පාලන ක‍්‍රමයකට ඇතුලූ වූහ. අද වන විට රට මැදි ආදායම් රටක තත්ත්වයට පත්ව ඇතත් නිවාස, විදුලිය, ප‍්‍රවාහනය සහ ආහාර පාන වෙනුවෙන් වියදම් කරන්නට ආණ්ඩුවට සිදුව තිබේ. මෙම වියදම අවසානයේ  දී මහජනතාව ගෙන් අයකරන බදු වලින් පියවා ගනී.

මෙරට ජීවත්වන  වැසියන්ගෙන් යම් කොටසක් මෙම සහනාධාර වලට ඇබ්බැහි වී ඇත. යමක් දෙන්නට තැත් නොකරන පුද්ගලයා නායකයෙකු නොවේ. යැපෙන මානසිකත්වයක සිටින හෙයින් කොතැනින් හෝ නොමිලයේ ලැබෙන දෙයක් තමන්ගේ එදිනෙදා අවශ්‍යතා වෙනුවෙන් උපයෝගී කරගන්නට කැමැත්තක් දක්වති. රට හදන්නට නම් මිනිහා හදා ගන්නට අවශ්‍ය බව මෙයින් පැහැදිලිය. සහනාධාර සහ බඩු මුට්ටු බෙදමින් දේශපාලනය කරන ස්වභාවය වෙනුවට යථාර්ථය දක්වා රටට නිසි සැලැස්මක් ඇති කරගන්නා වගකිමක් අපට ඇත.

 

 

 

 

 

Advertisements