milinda-prashna

2014.02.19 – මිලින්ද මොරගොඩ
අනගාරික ධර්මපාල තුමන්ගේ ගමන් මග සහ ක‍්‍රියා කලාපය නැවත නැවතත් ජන අවධානයට පත් වෙමින් තිබේ. එතුමන්ගේ එකසිය පනස් වැනි ජන්ම දිනය ලබන සැප්තැම්බර් මාසයට යෙදී ඇත. බෞද්ධ පුනරුදය ඇති කිරීමට අවිහිංසාවාදීව එතුමන් ගත් අභීත, අඛණ්ඩ වැඩ පිළිවෙල ශ‍්‍රී ලාංකිකයන්ගේ ඉමහත් ගෞරවයට ලක්ව ඇති බව අවිවාදිතය.
දොන් ඬේවිඞ් හේවාවිතාරණ උපදින විට ලංකාව බි‍්‍රතාන්‍යයට යටත්ව තිබූ කොළණියකි. බටහිර ක‍්‍රමයට අධ්‍යාපනය ලැබූ ඬේවිඞ් තරුණයා ආකල්ප අතින් වෙනස් පුද්ගලයෙකු විය. බෞද්ධ ප‍්‍රබෝධය සහිතව නිදහස සම්බන්ධ කතිකාවක් රට තුළ පැන නැගෙන විට උපතින් ලැබූ නම අත හැර ධර්මපාල නම අත්පත් කරගත් හෙතෙම මෙරට පළමු අනගාරික, එනම් තම ජීවිතය සද්භාවයෙන් යුතුව රට වෙනුවෙන් කැපකරන තීන්දුවට එළැඹියේය. ඔල්කොට් තුමන් ප‍්‍රමුඛ වියතුන් මෙරට දානපතියන් සමග එක්ව රට පුරා බොදු පාසල් ඇතිකරන විට රට පුරා යමින් විශාල සන්නිවේදක කාර්ය භාරයක නියැලෙන්නට ධර්මපාල තුමන්ට හැකියාව ලැබිණ.
බුද්ධගයාවට සංචාරයකට පිටත්ව ගිය ධර්මපාල තුමන් බුද්ධ චරිතයට සම්බන්ධ තැන් අන්‍යාගම් වල සංකේත බවට පත්වෙමින් තිබූ ආකාරය දැක ඒ වෙනුවෙන් විශාල ආන්දෝලනයක් ඇති කළේය. එහි ප‍්‍රතිඵලය වූයේ බෞද්ධ ලකුණ යළි තහවුරු වීමයි.
සිංහල බෞද්ධයිනි අවදිවව් කියමින් හෙතෙම රට පුරා සංචාරය කළේය. එහි දී ජාතිය අවදි කරන්නට කී දේශනාවක කොටසක් අනගාරික ධර්මපාල තුමන්ගේ වචන වලින්ම මෙසේය. ‘‘අරූ ගොයිගම, අරූ දුරාවේ, අරූ කරාවේ කිය කියා හතර පැත්තට බෙදිලා. දේශපාලකයන් බදාගෙන පක්ෂ වලට බෙදිලා. උඹලගෙ හාමුදුරු ගොල්ලන් කරන්නෙත් ඔය ටිකමයි. නිකාය වලට බෙදිලා. බණ එක එකාගේ බුක්තියට ලියාගෙන.’’ එහෙම දොස් පවරන ධර්මපාල තුමා ‘‘කෝ උඹලගෙ ප්‍රෞඩ ඉතිහාසය? කෝ උඹලගේ සංස්කෘතිය? කෝ උඹලගෙ මනුස්සකම’’ යනුවෙන් තදින් ප‍්‍රශ්න කරයි. ‘‘අනෙක් ජාතීන්ට දොස් කියන්නට එපා. උඹලගෙ ජාතියේ දුර්වලකම් ගැන සොයා බලලා දැන්වත් කල්පනාවෙන් වැඩ කරපල්ලා’’ යැයි අවවාදයක් ද කරයි.
මෙම වචන ග‍්‍රාම්‍ය, අවිනීත සහ දරුණු බව පෙනී යා හැකිය. නමුත් අදටත් මේ වදන් එලෙසම මතු කරන්නට සිදුව තිබේ. රට සංවර්ධනය වන විට පැරණි දුර්මත වලින් දුරු විය යුතුය. අසමගිකම තොර සාධාරණ සමාජයක් බිහි විය යුතුය. නිදහස ලැබූ දා සිට වකවානුව ගැන පමණක් ස`දහන් කළත් පැවැති ආණ්ඩු මෙහෙයවූයේ රට සැනසිලි දායක තැනක් කරන්නටය. අනගාරික ධර්මපාල තුමන් ආදර්ශයෙන් සහ කැපවීමෙන් පෙන්නුම් කළ දර්ශනය සම්පූර්ණයෙන් නිවැරදිව වටහා ගන්නට අදටත් හැකියාවක් ලැබී නැත. සමාජය ගමන් කරන්නේ කොයිබටද යන බරපතල ප‍්‍රශ්නය නගන්නට සිදුව තිබේ.
අනගාරික ධර්මපාල තුමන් ගේ ජීවන ගමන නොව එතුමන් අනාවරණය කළ සමාජ දෘෂ්ටිය ගැඹුරු සංවාදයකට යොමු කළ යුතු කාලය උදා වී ඇත. මහජනතාව වෙත පණිවුඩය සන්නිවේදනය කරන්නට ගත් අවිහිංසාවාදී ප‍්‍රතිපත්ති හෙලිදරව් කළ යුතුය. වර්තමානයේ දී විවිධ අවස්ථාවල මහජන ගැටලූ හමුවේ විරෝධතා සංවිධානය කරන බව පෙනේ. මෙම විරෝධතා වලදී යුක්ති ගරුක මත වෙනුවට පැතිරෙන්නේ චෝදනාය. ප‍්‍රති පාර්ශව වෙත ක්‍රෝධය සහ වෛරය පතුරවන අදහස්ය. එයින් සමාජය ඇවිලෙයි. තව තවත් බෙදී වෙන්වෙයි. එකතුවක් එකමුතුවක් ඇති නොවේ. සමාජ, ආගමික සහ ආර්ථික මත සමග දරුණු තීන්දු තීරණ ප‍්‍රකාශ වෙයි. සාමාන්‍ය ජන ජීවිතයට බාධා ඇතිවන වර්ජනය. මාර්ග අවහිර කිරීම, බලහත්කාරය සහ අවසානයේ දී සිය දිවි නසා ගැනීමෙන් ප‍්‍රශ්නය හුවා දක්වන තැන දක්වා විකාශය වී තිබේ. බලධාරින් අවධානයට නොගැනීම ද එවැනි වර්ධනයක් දක්වා පැතිරෙන්නට හේතු විය හැකි නමුත් මෙහිදී සමාජය ඉතිහාසයේ සිට මේ දක්වා පැමිණි ගමන් මගෙහි ඛේදවාචකය හ`දුනාගෙන විකල්ප කෙරෙහි නැඹුරුවීම අවශ්‍යබව දම්පල් දර්ශනයෙන් උගත යුතු වැදගත් පාඩමකි.

Advertisements