milinda-prashna

  2014.01.15 -ලංකාදීප – මිලින්ද මොරගොඩ

 

ජන සමාජය ගරු කරන සාරධර්ම ගැන යම් පොදු එක`ගතාවයක් තිබේ.නීත පනවා සාරධර්ම ආරක්ෂා කරන්නට හැකියාවක් නැත. නීතියෙන් ආරක්ෂා නොවන ඒවා රැකෙන්නේ සම්ප‍්‍රදායෙන්ය. සම්ප‍්‍රදායයට අභියෝග කළ හැකිය. එවැනි තත්ත්ව සමාජයේ පදනම නොඑසේනම් බල කේන්ද්‍ර යම් අවදානමකට ලක් කරයි.

එක්තරා උච්ච අවස්ථාවක පැමිණ ඇති මෙරට සන්නිවේදන කෘත්‍ය සම්ප‍්‍රදාය කෙරෙහි විශාල බලපෑමක් කරන බව පෙනේ. සන්නිවේදනය ප‍්‍රබල නැති සමයෙහි සිද්ධියක් ගැන මතු කරන්නේ අවධානයක් පමණකි. දැන් එහි සිද්ධියට එපිට ගිය හැ`ගීම් විකාශය කරන තැනට තාක්ෂණය දියුණු වී ඇත. දැනුම, පුරුෂාර්ථ සහ අධ්‍යාත්මික හර පද්ධති මගින් හැඩගස්සවන ලද සමාජ විඥාණය මාධ්‍ය භාවිතාව තුළ අසාමාන්‍ය තත්ත්වයකට පත්කරමින් සිටින බව වටහා ගත හැකිය.

සංඝ සමාජය තුළ මතුව ඇති තත්ත්වය එයට උදාහරණයකි. වසර දහස් ගණනක කාලයක් ආරක්ෂා වන විහාර සිතුවම් වල සංඝරත්නය නිරූපනය වන ආකාරය සුපසන්ය. අද අන්තර්ජාලයෙන් ගවේශනය කළහොත් මෙරට භික්ෂුවකගේ හැසිරීම පෙන්වන රූපරාමු එයට හාත්පසින්ම වෙනස්ය. තවත් අවුරුදු දහස් ගණනකට මතු කාලයක භික්ෂුවක යනුවෙන් සංකේතවත් වන්නේ කෙබ`දු ආකාරයකටද? අනාගත පරම්පරාව භික්ෂුව යනු කවරෙකු දැයි හ`දුනාගන්නේ අන්තර් ජාලයේ ඇති තොරතුරු වලින්ය. මාධ්‍ය පෙන්වන්නේ දහඩිය පෙරාගෙන පාරේ හි`ද සිටින කහ සිවුරු හැ`දගත් හිමිවරුන්ය. ඒ අතරින් හිමි නමක් රුධිරය පෙරාගෙන තවත් හිමිවරුන් කණ්ඩායමකගේ වාරුවෙන් නැගී සිටියි. තැන තැන කුලූ පොලූ හමුදාය. අවිගත් පිරිසය. තවත් පැත්තක ආවේගශීලීව නුසුදුසු වචන පවා පාවිච්චි කරන හිමිපාණන් වහන්සේලාය. පාර්ලිමේන්තුවේ දී මහා සංඝරත්නය මුහුණ පෑ සිද්ධියේ සිට හිමිනමක ගව ඝාතනයට එරෙහිව දිවි නසා ගැනීම දක්වා සහ එයින් ඔබ්බට අද වාර්තා වන දේ තෙක් මේවා නම් කළ හැකිය. ආර්ථික, සමාජ සහ දේශපාලන අංශ වල ඇති අර්බුද හමුවේ සංඝරත්නය ඉදිරියට පැමිණ ඇති බව ඇත්තකි. රට ජාතිය වෙනුවෙන් සංඝරත්නය පෙරට පැමිණීම ඓතිහාසික වගකීමක් විය හැකිය. නමුත් මාධ්‍ය වලින් අද දක්වන සිද්ධි ජනතාවගේ හිත් තුළ කි`දා බැස ඇති ශාන්ත දාන්ත සුපසන් හික්ෂුවක ගැන පහන් සිතිවිලි මකා දමමින් තිබේ.

තෘෂ්ණාවෙන් මිදී නිවන් මාර්ගයට අවතීර්ණ වන තීන්දුව සංඝරත්නය ගෙන ඇත. ගිහියන්ට එය කළ නොහැකිය. සියලූ දේ අත්හරිමින් කරන කැපවීම සමාජයට ආදර්ශය සපයයි. සංඝයා වහන්සේට ඇප උපස්ථාන කරමින්, අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා ලබමින් ගිහි පිරිස මතු ආත්මයක සැනසිල්ල අපේක්ෂා කරති. සසරින් එතෙර වීමට ගිහි ජීවිතය යොමු කරන මෙහෙවර වෙනුවට හික්ෂුන් වහන්සේලාගෙන් යම් කොටසක් ජාතික සාමාජයීය අර්බුද වෙනුවෙන් සටන් මගට ප‍්‍රවේශව ඇත. එම තින්දුව සමග සමාජයේ තාක්ෂණ භාවිතාව සහ සන්නිවේදන ප‍්‍රවනතා මුහුණ දී ඇති ගැටලූ ගණනාවකි. තොරතුරු වාර්තා කිරීමේ දී භික්ෂු ප‍්‍රතිරූපය හෑල්ලූවට ලක්වන ආකාරය පෙනෙන්නට තිබීම එයින් එක බරපතල පැත්තක් පමණකි.

සමාජයේ ප‍්‍රශ්න වලින් මිදී හුදෙකලා වන්නට සංඝ සමාජයට යුතුකමක් නැතැයි තර්කයක් තිබිය හැකිය. එසේ වූ පමණින් සම්ප‍්‍රදායික ප‍්‍රතිරූප නිගරුවට ලක්විය යුතු නැත. මහා සංඝරත්නය සම්බන්ධ රූපරාමු සහ පින්තූර ප‍්‍රචාරයේ දී අනුගමනය කළ හැකි ප‍්‍රතිපත්ති සම්බන්ධව පොදු එක`ගතාවයකට පැමිණීම මාධ්‍ය ආයතන වලට අනුගමනය කළ හැකි ක‍්‍රියාමාර්ගයකි. මාධ්‍ය ආවරණය සීමාසහිත වන විට අමිහිරි සිද්ධි දැකීමෙන් මහජනතාව තුළ අසතුට ඇතිවීම වැළකෙනවා පමණක් නොව මාධ්‍ය තුළින් අනිසි වීරත්වයකට මග පෙන්වා සසරින් එතෙර විය යුතු භික්ෂුව සසරෙහි ඇලෙන්නට කාරණා සම්පාදනය නොවන්නට පසුබිම සැකසිය යුතු බව යෝජනා කිරීම අවශ්‍යය.

 

Advertisements