milinda-prashna  2014.01.13 – මිලින්ද මොරගොඩ
මෙරට නීතිය ඇත්තේ යුක්තිය පසි`දලන්නටය. යුක්තිය ඉටු වන බව පොදු    ජනතාවට දැනෙන්නේ නැත්නම් බරපතල ප‍්‍රශ්නයකි. පනවන නීති නිසි ලෙස  ක‍්‍රියාත්මක නොවීම වරදකි. නීතියට අනුව සමාජය හැසිරෙන්නේ දැයි බලා සිටින  නිලධාරීන්ට මතක් වන කාලයේ පමණක් මහජනතාව හිංසනයට පත් කරමින් ඔවුන් අපරාධකරුවන් කිරීම එයටත් වඩා දරුණු තත්ත්වයකි.
පාරේ ගමන් කිරීම සම්බන්ධව පදිකයන්ට නීතියක් තිබේ. පසුගිය කාලයේ වැරදි තැනින් පාර මාරු වූ මහජනතාව අධිකරණයට ගෙන යන්නට පොලිසිය ක‍්‍රියා කළේය. දැන් එය මතක නැත. එළවලූ සහ පලතුරු ප‍්‍රවාහනය සම්බන්ධව නීතියක් පනවා ලොරි රථ රියැදුරන් උසාවියට ගෙන ගිය පොලිසියට දැන් එහෙම නීතියක් ඇත්ද? නැත්නම් අවලංගුකර තිබේද යන්න අමතකය. ගෙවත්තේ ඩෙංගු මදුරුවන් බෝ වී සිටියේ යැයි අහිංසක මිනිසුන් නඩු මගට යොමු කරන ලද නමුත් අද එහෙම නැත. මුහුණ වසාගත් හෙල්මට් පාවිච්චි කිරිම කළෙක තහනම් වෙයි. තවත්  විටෙක එය අහෝසි කළ බව ප‍්‍රකාශ වෙයි. ගැසට් පත‍්‍රයකින් විධි විධාන අනුව බල ගන්වන නීතියක් පනවන්නේ සහ ඉවත් කරන්නේ නීත්‍යානුකූලවද? වාහනවල ඉදිරිපස වීදුරු අ`දුරුකර පාවිච්චි කළ නොහැකි බවට 1990 ගණන්වල නීතියක් පනවා තිබේ. කලාතුරකින් එයට අනුව නඩු පවරන අතර එහෙම කරන්නේ පොලිස් නිලධාරියාගේ මානසිකත්වය අනුවය. දුම් පරීක්ෂණ වාර්තා ගැන, රාත‍්‍රියේ ගමන් කිරීම, දුම්රිය පාරේ ඇවිදීම යනාදී වශයෙන් නොයෙක් නීති ඇත. නීති වැඩිපුර ඇත්තේ වඩාත්ම දුෂිත සමාජයක බවට මතයක් තිබේ.
මෙරට පවතින තත්ත්වය අනුව ශ‍්‍රී ලංකාව ඉතාම නරක රාජ්‍යයක් නොවේ. නීති පනවන අතර එය නිසි ලෙස ක‍්‍රියාත්මක නොකිරීමෙන් සහ අවශ්‍ය විටෙක පමණක් ප‍්‍රයෝජනයට ගෙන මහජනතාව අසරණ කිරීම හො`ද රටක් බව පෙන්වන්නේ ද නැත. එය කිසිසේත් යුක්තිය නොවේ. ඩෙංගු කීටයන් ගෙවත්තේ සිටියදී උසාවි ගිය පුද්ගලයෙකු අද තවත් තැනෙක ඩෙංගු මදුරුවන් බෝවෙන ආකාරයට ක‍්‍රියාකරද්දී නීතිය එය දැක දැකත් එය නොතකන්නේ නම් දැනෙන වේදනාව කොතරම්ද? කහ ඉර පාවිච්චි නොකිරීමේ වරදට ද`ඩුවම් ලැබූ පුද්ගලයෙකු එය සදා අමතක නොකරන නමුත් වර්තමානයේ මහපාරේ එම වරද කඩ කරන අයුරු දකින විට සමාජ ක‍්‍රමය ගැන ඇතිවන පශ්චාත්තාපය කෙබ`දුද?
රටකට නීති අවශ්‍යය. නීති සහ රෙගුලාසි අවශ්‍ය පමණට වඩා වැඩිවන විට මනුෂ්‍ය නිදහසට සීමා පැනවෙයි. දුවිලි වැදී මුහුණට සිදුවන හානි වලකා ගැනීමට සම්පූර්ණ මුහුණු ආවරණය කරන හෙල්මට් පාවිච්චියට ඉඩ නොදීම යුක්ති සහගත නැත. වාහනවල වීදුරු අ`දුරු කර භාවිතා කිරීමෙන් ඉන්ධන පරිභෝජනය අඩු කරගත හැකි බවට ඇති විද්‍යාත්මක පදනම ප‍්‍රතික්ෂේප කිරීම සමාජ සාධාරණත්වය නොවේ. රටක් දියුණුවන විට අලූත් ආකාරයකට සිතන්නට අවශ්‍යය. මෙරට ඇතැම් නීති වල පදනම අධිරාජ්‍යවාදී කාලය දක්වා පැරණිය. එම නීති එදා පැනවීමේ අරමුණ සහ අදට ගැලපෙන ආකාරයට සකස් කිරීමේ උවමනාව වැදගත්ය.
නීතියක් පනවන විට එය සමාජයට ගැලපෙන පොදු එකක් බවට පත් විය යුතුය. අවශ්‍ය විටෙක බල ගන්වා පසුව නිහ`ඩකරවන නීතියකින් රටකට පලක් නැත. ජනතාව තුළ නීතියට ඇති ගරුත්වය හීන වන අතර එයින් පීඩාවට පත්වන කොටස පමණක් වෛර කරන්නන් බවට පත්වෙයි. ආර්ථික සහ සමාජයීය වශයෙන් ඉදිරියට යන විට ගැලපෙන නීති රීති ගැන අවධානයෙන් සිටින්නට නීති සම්පාදකයෝ වගබලා ගැනීම අවශ්‍යය. සමාජයේ සියලූම දෙනා අපරාධකරුවන් හෝ මංකොල්ලකරුවන් සේ දැකීම නුසුදුසුය. සුළු පිරිසක් කරන වැරදි නිසා හැම දෙනෙකුම මුහුණ නිරාවරණය කරගෙන සහ බලශක්තිය ගැන නොතකන වීදුරු සහිත වාහන වල ගමන් කරන ලෙස බල කළ යුතුද? අලූත් අවුරුද්දේ නීතිය අකුරටම බලගැන්වීම පමණක් නොව එයින් සමාජයට යුක්තියක් ඉටුවෙන්නේදැයි සාකච්ඡා කිරීම විද්වතුන්ගේ වගකීමකි.

මිලින්ද මොරගොඩ

Advertisements