milinda-prashna

2013.12.11 -ලංකාදීප – මිලින්ද මොරගොඩ

මොරටුව ප්‍රසිද්ධ දැව කර්මාන්තයටය. ගහට ගහක් හමුවන බව කියන මොරටුව එම කියමන තව දුරටත් තහවුරු කරගැනීමේ උවමනාවක සිටින බව පෙනේ. දැව කර්මාන්තය සම්බන්ධයෙන් අනන්‍යතාවයක් මොරටුවට තිබිය යුතු නමුත් කර්මාන්තය සම්බන්ධව ඒකාධිකාරයක් එහි තිබිය යුතු නැත. පසුගිය මාස ගණන තුළ මොරටුව ප්‍රදේශයේ පැවැති නොසන්සුන් තත්ත්වය පෙන්වන්නේ කර්මාන්තයේ අධිපතිභාවය වෙනුවෙන් පවතින අරගලයේ පැතිකඩකි.
ග`ග දිගේ නගරයට පා කරගෙන ආ දැව ක`දන් මොරටුවේ දක්ෂ ශිල්පීන් ගේ අතට පත් වූ අතර රටට අවශ්‍ය ගෘහ භාණ්ඩ නිපදවීමට එහි පසුබිම සැකසිණ. ගෘහ භාණ්ඩයක උසස් තත්ත්වය සහ නියම දැව යොදා කරන නිෂ්පාදන බවට රට පුරා පිළිගැනීමක් තිබුණේය. කර්මාන්තය ගැන දැනුම පමණක් නොව දැව ඉරා පදම් කොට සකස් කර ගැනීමේ හැකියාව ද තිබුණේ මෙහි ජීවත් වූ පිරිසටය. නමුත් තාක්ෂණය සහ කාලය සියල්ල වෙනස් කර තිබේ. පහසුවෙන් දැව ඉරා කැටයම් කපා ඔප දමා ගන්නට මිනිස් අත් වලට නොදෙවෙනි යන්ත්‍ර දැන් නිපදවා ඇත. ඒවා මෙහෙයවන දැනුම ඇති කණ්ඩායම රට පුරා විසිරී සිටින අතර තව දුරටත් දැව කර්මාන්තය මෙරට එක තැනෙකට අනන්‍ය වී නැත. ලී බඩු පමණක් නොව එයට විකල්ප වශයෙන් භාවිතයට පැමිණි ප්ලාස්ටික් සහ දැව හා සමාන ආනයනික කෘතීම නිෂ්පාදන දැව කර්මාන්තය තුළ විශාල වෙනසක් ඇති කර තිබේ. දැව භාණ්ඩ මිලදී ගන්නට මොරටුවට එන්නට සූදානමක් නැති අවස්ථාවක එම කර්මාන්තයෙන් ජීවත් වූ විශාල පිරිසක් අපහසුතාවයට පත්ව සිටී.
තමන් නිෂ්පාදනය කරන දැව භාණ්ඩ වලට මිලක් නැති සහ වෙළ`ද පොළ තරගකාරීත්වයට මුහුණ දිය නොහැකිව සිටින පිරිස පාරට පැමිණ විරෝධතා දක්වන්නට පටන්ගෙන ඇත. සම්ප්‍රදායික දැව ශිල්පීන් ලක්ව ඇති ගැටලූ වලට ආණ්ඩුව සහනාධාර සැපයීම උත්තරය නොවේ. ක්ෂේත්‍රය පිලිබ`දව පුලූල් අධ්‍යනයක් කර උත්තරයක් සෙවීම අවශ්‍යය.
ඉදිරි වසර වෙනුවෙන් ඉදිරිපත් කරන ලද අය වැය යෝජනා වල ද දැව ප්‍රවාහනයට තිබූ බලපත්‍ර ක්‍රම ලිහිල් කර තිබේ. නීති ඉවත් කර පුරවැසියන්ට සමාන අවස්ථා උදා කිරීම වැදගත්ය. නීතියක් අවශ්‍යය නමුත් එය අනවශ්‍යය ආකාරයකට බලපවත්වන විට එයින් වඩාත්ම පීඩාවට පත්වන කොටසක් ද සිටින බව අමතක කළ යුතු නැත.
නමුත් ශ්‍රී ලංකාවේ වන සංරක්ෂණය හමුවේ ගහ කොළ සීමාවකින් තොරව කපා ප්‍රයෝජනයට ගැනීම සුදුසු නැත. දැව කර්මාන්තය ආශ්‍රිතව ව්‍යවසායකත්වය දියුණු වී රැකියා සහ ආර්ථික ප්‍රබෝධයක් ඇති වන්නේ නම් රටට වැදගත්ය. පැවති නීති අනුව ස්ථාන මාරුවක් ලබන මහේස්ත්‍රාත්වරයෙකුට පවා තමන්ගේ ගෘහ භාණ්ඩ ප්‍රවාහනයේ දී ග්‍රාම නිලධාරී සහතිකයක් අවශ්‍යය. තොරතුරු වාර්තා වන පරිදි මෙරටින් ගෘහ භාණ්ඩ අපනයනය කරන්නේ නම් එම නිෂ්පාදන කෞතුක වටිනාකමක් රහිත බවට ජාතික කෞතුකාගාරයේ අනුමැතිය අවශ්‍යය. මහේස්ත්‍රාත්වරයෙකුට ග්‍රාම නිලධාරීවරයාගේ අනුමැතිය ගන්නට සිදුවීම සහ දැව භාණ්ඩ අපනයනයේ දී කෞතුකාගාරයේ අනුමැතිය අවශ්‍යය වීම මෙම ක්ෂේත්‍රය අදට ගැලපෙන පරිදි වෙනස් වී නැති බව පෙන්වන සරල කරුණු දෙකක් පමණකි.
ලෝකයේ වෙනත් රටවල දැව කර්මාන්තයෙහි නිරත ශිල්පීහු තාක්ෂණ දියුණුව සමග අලූත් පැති කරා යොමුවන අතර විශ්ව විද්‍යාල වල පවා දැව කර්මාන්තය ආශ්‍රිත උසස් අධ්‍යාපනය ලැබීමේ වරප්‍රසාදය හිමිය. ශ්‍රී ලංකාවේ ද කර්මාන්තය දියුණු විය යුතු අතර වෘත්තීය ගරුත්වය ඇතිකළ යුතුය. අදටත් පරම්පරා ගණනක් මොරටුවේ ජීවත් වූ දැව කර්මාන්ත ශිල්පීන්ගේ ජීවිත එදා තත්ත්වයට වඩා වෙනස් වී නැති අතර මොරටුවේම පිහිටි විශ්ව විද්‍යාලයේ හෝ අලූතින් ඉගෙනගෙන දැනුමෙන් පොහොසත්වන අවස්ථා පාදා දී නැත. එහෙයින් අවසානයේ දී තමන්ගේ ලී බඩු විකුණාගත නොහැකිවන කර්මාන්තකරුවන්ට පාරට පැන විරෝධතා පළ කරනු විනා කළ හැකි අන් මගක් නැත.

Advertisements