milinda-prashna

2013.10.16 – ලංකාදීප- මිලින්ද මොරගොඩ

බස් ගාස්තු වැඩි කිරීම ගැන රට තුළ සංවාදයක් පැන නැගී තිබේ. මගී ප්‍රවාහනයේ නිරත බස් හිමියන් තම ඉන්ධන වියදම ඇතුලූ බස් රථයේ නඩත්තු වියදම් ඉහළ යාම දරාගත නොහැකි බව දක්වයි. ගාස්තු වැඩිකිරීම මගී ප්‍රවාහන සේවාවේ නිරත පුද්ගලික බස් ධාවකයන්ට යම් පිටිවහලක් විය හැකිය. එවිට පොදු ජනතාව තමන්ට දරන්නට සිදුවන අතිරේක පිරිවැය ගැන මැසිවිලි නගන්නට පටන් ගනී. වැඩිවන වියදම සලකා වැටුප් නංවන ලෙස බලකරයි. යම් ආකාරයකට ජනතාවට සහනයක් දෙන්නට ආණ්ඩුවට ද සිදුවෙයි. ආණ්ඩුව එම සහන වලට අවශ්‍ය අරමුදල් උපයා ගන්නේ ද මහජනතාවට පනවන බදු වැඩි කරමින්ය. මෙය අනිවාර්ය ක්‍රමයකි. එයින් ගැලවීමක් නැත. විකල්ප ආකාරයට ප්‍රශ්න දෙස බලන්නේ කොහොමද? යන්න අද අප සියලූ දෙනා වගකීමෙන් සලකා බැලිය යුතුව ඇති ගැටලූවකි.
ඉන්දියාවේ ආර්ථිකයට එරට ඉන්ධන ආනයන වියදම විශාල බරක් වී තිබේ. ඒ බව එරට ඛනිජ සම්පත් ඇමැතිවරයා අවධාරණය කරයි. ගෙන්වන ඉන්ධන යම් අර පරෙස්සමකින් භාවිතා නොකළහොත් ඉන්ධන ආනයන වියදම යම් ගැටලූවක් විය හැකිය. හෙතෙම සතියට දිනයක් තමන්ගේ නිල වාහන අත්හැර නගරයේ පොදු ප්‍රවාහන සේවාවේ ගමන් කරන්නට තීරණය කර තිබේ. ඛනිජ සම්පත් ඇමතිවරයා සෑම බදාදා දිනයකම ආරක්ෂකයන් සමග පොදු ප්‍රවාහන සේවාවෙන් ගමන් කිරීම අරඹා ඇත. විරුද්ධ මත දරන්නනන් එය උපහාසයට ලක් කරමින් සිටී. ප්‍රතිවාදී දේශපාලනඥයන් එය ඉදිරි මැතිවරණයේ ඡන්ද උපායක් යැයි දැන්මම කියන්නට පටන් ගෙන ඇත. ඇමැතිවරයාගේ පිළිවෙත එරට අති විශාල ඉන්ධන ආනයන වියදම අනුව සලකන විට ඉතා සුලූ ඉතිරි කිරීමක් පමණක් බවට ද මතයක් නැගී තිබේ. නමුත් වැඩි දෙනෙකුගේ අවසාන නිගමනයේ දී අමාත්‍යවරයා යමක් කරන්නට උත්සාහ කරන බව සිතන්නට පටන් ගෙන ඇත. කිසිවෙකු හෝ ආරම්භයක් දිය යුතුය.
ශ්‍රී ලංකාවේ මහ මග ධාවනය වන වාහන වලින් යම් කොටසක් ඉතාමත් සුපිරි ඒවාය. එම වාහන ඉන්ධන පිරිමැසුම්දායක නැත. ලංකාවේ අවුරුද්දක ඉන්ධන ආනයන වියදම ඇමෙරිකානු ඩොලර් බිලියන හයක් පමණ වෙයි. මෙම වියදම පියවා ගන්නට සරිලන විදේශ මුදලක් රටට ලැබෙන්නේ විදේශ ගත ශ්‍රී ලාංකිකයන් එවන ධනයෙන් පමණකි. තේ කර්මාන්තයෙන් අවුරුද්දකට ලැබෙන්නේ ඇමෙරිකානු ඩොලර් බිලියන 1.4 ක් පමණ මුදලකි. සංචාරක කර්මාන්තය ද උපයන්නේ ඇමරිකානු ඩොලර් බිලියනයකට ආසන්න මුදලකි. එවැනි ආදායම් පසුබිමක පසුවන අප රටට ද ඉන්ධන වියදම අඩු කර ගැනීම ගැන අලූත් ආකාරයකට අවධානය යොමු කිරීම කාලීන අවශ්‍යතාවයකි. මැද පෙරදිග ඇතුලූ රටවල සේවය කර මෙරටට එවන සම්පූර්ණ විදේශ මුදල ආපසු මැද පෙරදිගටම යවන පිළිවෙතකින් රටට දියුණුවක් අපේක්ෂා කළ නොහැකිය.
නීති පනවා මහජනතාව පීඩාවට පත් කර ඉන්ධන ආනයන වියදම අඩු කර ගැනීමට මං සෙවීම සුදුසු නැත. නමුත් ඉන්ධන පරිභෝජනය සම්බන්ධව රටට යම් දැක්මක් අවශ්‍යය. වාහන තාක්ෂණය දියුණු වෙයි. ඉන්ධන හා විදුලිය දෙමුහුන් වාහන බලවාහන බලශක්තිය අඩුවෙන් භාවිතා කරයි. ඒවා භාවිතය දිරි ගැන්විය යුතුය. සම්පූර්ණයෙන් ම විදුලියෙන් ධාවනය කරන වාහන වෙළ`ද පොළට පැමිණෙමින් තිබේ. ධනවත් සමාජය මෙම අලූත් තාක්ෂණික යුගයට ඇතුල් විය යුතුය. රට තුළ කාර්යක්ෂම පොදු ප්‍රවාහන පද්ධතියක් රහිතව ඉන්ධන භාවිතය ගැන ආදර්ශයක් සැපයීම අපහසු එකකි. අධිවේගී මාර්ග, දියුණු තාක්ෂණය සහිත වාහන ඉන්ධන ඉතිරි කරයි. මේගැන අවධානය යොමු කළහොත් ඉන්දියාවේ ඛනිජ සම්පත් ඇමතිවරයාට වඩා පියවරක් ඉදිරියෙන් සිටිය හැකිය.

Advertisements