milinda-prashna

2013.10.09 – ලංකාදීප- මිලින්ද මොරගොඩ

කාන්තාවට සමාජ ආර්ථික ව්‍යුහය තුළ සමාන තැනක් ඇති කිරීම සම්බන්ධව ලෝකය පුරා අවධානයට ගැනුණේ කලකට කලින්ය. එයින් ඇති කළ ප්‍රවනතාව වර්තමානයේ පුලූල් සංවාදයට ලක්ව තිබේ. පොදුවේ සෑම රටකම කාන්තාවන් ගේ අධ්‍යාපන මට්ටම ඉහළය. යුරෝපීය සහ ආසියානු රටවල උසස් අධ්‍යාපන සුදුසුකම් ඇති සමාජ ස්ථරයෙන් හරි අඩකට වඩා කාන්තාවන්ය. දැනුම හා අවබෝධයෙන් පොහොසත් කාන්තාවන් සමාජය තුළ සැලකිය යුතු පිරිසක් වන විට සමාජ ක්‍රියාකාරකම් සහ ආකල්ප සම්බන්ධයෙන් ද යම් ගැඹුරු පරිවර්තනයක් අපේක්ෂා කළ යුතුය.
ශ්‍රි ලංකාවේ ද අධ්‍යාපනය අතින් කාන්තාවන් ඉදිරියෙන් සිටින බව වර්තමානයේ දී පැහැදිලිව නිරීක්ෂණය කළ හැකිය. 1931 දී මෙරට කාන්තාවන්ට ඡන්ද අයිතිය තිබුණේ නැත. 2011 වන විට මෙරට විශ්වවිද්‍යාල වලට ඇතුලත් වන සිසුන්ගෙන් සියයට 58 ක් කාන්තාවන්ය. වෙනස එයයි. නීති අංශයේ එහි වර්ධනය එයටත් වැඩිය. මෙම යහපත් ප්‍රවනතාව සමග සම්ප්‍රදායික පැති අභියෝගයට ලක්වනු ඇත. පුරුෂ මූලික සමාජ වටපිටාවක් තිබුණ ලංකාව අද වන විට පවුලේ මව සහ පියා සාකච්ඡා කර තීරණ ගැනීමේ අවධියකට ගමන් කරමින් සිටී. එය අලූත් තත්ත්වයකි. පිරිමි පාර්ශවයේ උසස් අධ්‍යාපන ප්‍රතිශතය යම් තරමකින් පහල ගොස් ඇති අතර රැර්‍කයාවක් කර උපයන පිරිස කාන්තාවන් බවට පත්ව තිබේ. ජාතික ආදායමට කාන්තාව දක්වන දායකත්වය ක්‍රමයෙන් වැඩි වෙමන්‍ තිබේ. කාන්තාවන් තවත් බල ගන්වන අතරතුර පිරිමි පාර්ශවය උසස් අධ්‍යානයට තව තවත් පොළඹවන කාර්ය භාරයට උරදෙන්නේ කෙසේ දැයි සාකච්ඡාවට ගැනීම අද පවතින අවශ්‍යතාවයකි.
නමුත් සලකා බැලියයුතු පැත්තක් තිබේ. ලාංකේය කාන්තාව අධ්‍යාපනයෙන් පොහොසත් නමුත් තීරණ ගැනීමේ අංශයට කාන්තාවන්ගේ ඇති නියෝජනය තවමත් දුර්වලය. ඉහළ තනතුරකට කාන්තාවක් පත් නොකරන්නට ඇති සියලූ අවස්ථා උපයෝගී කරගන්නට අදටත් මෙරට සමාජය උනන්දු බව පෙනේ. කාන්තාව රටේ ඉහළම තනතුරු වලට පත්වීමෙන් ආදර්ශයක් සපයා ඇති අප රට තුළ ජාතික ආර්ථික දේහයට අධ්‍යාපනයෙන් කාන්තාවන් ලබා ඇති දියුණුව දායක කර නොගැනීම ගැටලූවකි. පවතින වාතාවරණය අනුව ඉතා දුප්පත් රැකියා අවස්ථා වලට කාන්තාවන් ගෙන් බහුතරය කොටු වී සිටී. ආධිපත්‍ය ඇත්තේ පිරිමින්ටය.
ඒ අනුව සම්ප්‍රදායික කෘෂිකර්මයේ වැඩිම ශ්‍රමදායකත්වය උසුලන්නේ කාන්තාවන්ය. වි ගොවිතැනට කාන්තාවගේ දායකත්වය සහ තේ රබර් වගා වල දී කාන්තාවන්ට ලැබෙන රැකියාව එයට උදාහරණයකි. ඇගලූම් ඇතුලූ කාර්මික අංශයේ වැඩි ඉපැයීමකට දායකත්වය දක්වන්නේ ද කාන්තාවන්ය. මැද පෙරදිග ඇතුලූ වෙනත් රටවලට ගොස් රටට විනිමය උපයාදෙන පිරිස අතර වැඩි පිරිස කාන්තාවයි. මෙම සියලූ අංශ වැඩි අධ්‍යාපනයක් ඇති කාන්තාවන් නියෝජනය කරන ක්ෂේත්‍ර නොවේ. එහි දී දැක ගත හැකි වන්නේ කාන්තාවන්ගේ ධෛර්යය සහ යමක් උපයා පවුල නගා සිටුවීමට දක්වන උවමනාවයි. උසස් අධ්‍යාපනයක් නැති කොටස ආර්ථිකයේ විශාල පරාසයක් ආවරණය කරන විට සමාජයේ ස්ත්‍රි පුරුෂ භාවය අනුව උසස් අධ්යානපනය සහිත ප්‍රතිශතයක් වශයෙන් වැඩි පිරිස කාන්තාවන් වන විට යම් ගැටලූවක් ඇති බව වටහා ගැනීම අවශ්‍යය.

Advertisements