milinda-prashna

2013.10.03 – ලංකාදීප – මිලින්ද මොරගොඩ

ශ්‍රි ලංකාවේ අධ්‍යාපන ක්‍රමය තුළ විශාල තරගකාරීත්වයක් පවතී. ඒ හා සමානව නිදහස් අධ්යා‍පනයක් ගැන පොදු ජනතාව තුළ විශාල විශ්වාසයක් ඇති බව පෙනේ. පවතින රටාව අනුව මෙරට පාසල් පද්ධතිය සහ එහි පැවැත්ම ඉතාම සංකීර්ණ මුහුණුවරක් ගෙන තිබේ. රජය අධ්‍යාපන පහසුකම් වෙනුවෙන් වාර්ෂිකව සෑහෙන වියදමක් කරයි. පාසල් පද්ධතිය නඩත්තුව සහ සිසුන්ගේ පොත පත වෙනුවෙන් එය වැය කෙරේ. නිල ඇදුම් සපයයි. තෝරාගත් පාසල් සිසුන්ට දිවා ආහාරය සහ පාවහන් සපයන්නට ද රජය මුදල් වෙන් කරන බව අනාවරණය වෙයි. මෙම සියලු වියදම් අතරතුර අධ්‍යාපන සම්බන්ධ ගැටලු රැසක් පවතින බව නිරීක්ෂණය කළ හැකිය.
දරැවන්ගේ අධ්‍යාපන වෙනුවෙන් දෙමවුපියන් දරන වෙහෙස එයින් ප්‍රමුඛය. ජාතික මට්ටමේ පාසලක් සොයා ගැනීමට දෙමවුපියන් මහන්සිවෙයි. එය වටා නොයෙකුත් නීතිවිරෝධී ක්‍රම පැන නැගී ඇත. නිතිපතා පාසලට දරැවන් යවන අතරතුර අතිරේක අධ්‍යාපන වෙනුවෙන් කාලය සහ ධනය වැය කරන බව ප්‍රකට කරැණකි. ළදරැ අධ්‍යාපනයේ සිට විශ්වවිද්‍යාල ප්‍රවේශය දක්වාද සහ එයින්ද නොනැවතී වෘත්තීය අධ්‍යාපනය වෙනුවෙන් ද අතිරේක පන්ති වෙළද පොලක් රට තුළ බිහිවී තිබේ. එය පැවතෙන්නේ වානිජ මුහුණුවරකින්ය. පාසල් කාලයෙන් පසු අතිරේක පන්තියකට සහභාගී නොවන දරැවෙකු නැත. තෘතිය අධ්‍යාපන ප්‍රවේශය වෙනුවෙන් රට තුළ ඇති පහසුකම් අඩු වන විට අතිරේක පන්ති වලින් තොරව හොද ප්‍රතිඵල ළගාකරගත නොහැකි බවට මතයක් ගොඩනැගී තිබේ. අධ්‍යාපනය නිදහස් නමුත් පවතින පුද්ගලික අතිරේක පන්ති රටාව ඉදිරියේ එය සාක්ෂාත් කර ගන්නට දරන වියදම කිසිසේත් සරල සහ පහසු එකක් නම් නොවේ.
පාසල් දරැවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් අතිරේක පන්ති අත්‍යාවශය සාධකයක් බව නිරායාසයෙන් පත්ව ඇති අවස්ථාවක සමාජය තුළ තවත් වැදගත් අදහසක් ද පැන නැගී ති‍බේ. මෑතක දී දහම් පාසල් අධ්‍යාපන ගැන තොරතුරැ සොයා දැන ගැනීමේ අවස්ථාවක් උදා කරගතිමි. කොළඹ දිස්ත්‍රික්කයේ විහාරස්ථාන දුරකථන නාමාවලිය නිකුත් කරන දහම් සභාව අතරතුර දහම් අධ්‍යාපනට කැපවූ හිමිපාණන් වහන්සේලා සහ ඉරැදින දහම් අධ්‍යාපනය නගා සිටුවනු කැමැති වියතුන් ඉරිදා පෙරවරැවේ අතිරේක පන්ති තහනම් කළ යුතු බවට මතයක් ගොඩනගන බව පෙණින. සබරගමුව පලාත සහ කඹුරැපිටිය ප්‍රාදේශීය සභා ප්‍රදේශය තුළ දැනටමත් ඉරැදින පෙරවරැවේ අතිරේක පන්ති තහනම ක්‍රියාත්මක බව මෙහිදී අනාවරණය විය. තවත් ප්‍රදේශ වල එවැනි තහනමක් තිබිය හැකිය. බොදුනු දහම් අධ්‍යාපනයට පමණක් නොව කිතුනු සහ හින්දු අන්යව ආගමික අධ්‍යාපනයට ද සතියකින් යම් කාලයක් වෙන් කිරීම ඉතා වැදගත් බවට විවාදයක් නැත. විශේෂයෙන් පවතින සමාජය තුළ ගුණ ධර්ම පිරිහීම සහ දුරාචාර වර්ධනයවීම යන කරැණ ගැන නැගෙන අදහස් අනුව නම් දරැවන්ට දහම් අධ්‍යාපනය ඉතාමත් අවශ්‍යය.
ගැටලුව ඇත්තේ නීති පැනවීමය. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් තුළ නීතියෙන් කළ හැකි දේ සීමා සහිතය. නීති පනවන විට එය අභිබවා අනෙක් අදහස් ද පැන නගියි. අධ්‍යාපනයේ නොසිතූ විරෑ අවශ්‍යයතා පැන නැගෙන්නේ එහි ඇති නොයෙක් ගැටලු හෙයින් බව වටහා ගත යුතුය. දරැවන් දහම් අධ්‍යාපනයට යොමු කළ යුතු බව දැන දැනම ‍දෙමවුපියෝ තම දරැවන් අතිරේක පන්තියට යවන්නේ අන්ත දෙකම අත්හැරිය නොහැකි හෙයිනි. සමාජය තුළ ගොඩ නැගී ඇති පසුබිම විද්වතුන්ගේ අවධානයට යොමු විය යුතුය. පාසල් අධ්‍යාපනය සංකීර්ණ සහ එහි අවස්ථා උදා කරගැනීම නීරස තරගයක් වන විට දරැවන්ට දහම් පාසල් යන්නැයි බල කිරීම නිරර්ථක වෑයමකි. දරැවන් ශිල්පයෙහි කෙළ පැමිණිය ද ඔවුන් ශික්ෂණයෙන් පිරිහී නම් ගොඩනගන අනාගතය පල නැති බව ද දැක්විය යුතුය. නීතිය වෙනුවට අන්ත දෙක අතර ගැලපීමක් සොයා ගන්නට සමාජය දක්වන උනන්දුව ඉතාමත් වැදගත්ය.

Advertisements