milinda-prashna

2013.08.21- ලංකාදීප- මිලින්ද මොරගොඩ

ශ‍්‍රි ලංකාවේ කිරි පිටි වෙළද පොල ආන්දෝලනාත්මක තත්ත්වයකට පත්ව ඇත. මෙරටට ආනයනය කරන කිරි පිටි වල සිරුරට අහිතකර රසායන ඇති බවට මතයක් නැගෙයි. ආනයනකරුවන් ගේ අදහස තමන් ගෙන්වන කිරි පිටි වල වස විස නැති බවය. නමුත් මෑත කාලය තුළ ලෝකයේ නොයෙක් රටවලින් කිරි පිටි තත්ත්ව පරීක්ෂණයේ දී අනාවරණය වූ තොරතුරු අනුව අහිතකර රසායන නියමිත ප‍්‍රමාණයට වඩා අඩංගු වූ බවට සාක්ෂි තිබේ. කිරි ගව පාලනය මහා පරිමානයෙන් කරන විට එකතුවන කිරි තොග අවසාන නිෂ්පාදනය තෙක් නරක් නොවී පවත්වාගන්නට නොයෙකුත් දේ එකතු කරයි. අද පවතින සංකීර්ණ තාක්ෂණ පහසුකම් අනුව කිරි පිටි වල ඇතුලත් සංයෝග මනා ලෙස පාලනය කරන අතර එහි ඇති ස්වභාවිකත්වය තුරන් කර විවිධ නිෂ්පාදන සකස් කරයි. මෙම ක‍්‍රියාවලිය අතරතුර වරදින්නට ඉඩ ඇති අතර එම වැරදීමක අවසාන ඉලක්කය දරුවෙකු හෝ ගැබිණියක වුවහොත් එය බරපතල එකකි.
අප රටට අවශ්‍ය කිරි ප‍්‍රමාණය මෙරටෙහිම නිපදවන්නේ නැත. අවුරුද්දකට කිරි පිටි ටොන් අසූ පන් දහසක් පමණ ආනයනය කරන බව පැවසේ. කිරි පිටි නිපදවන ජාත්‍යන්තර සමාගම් වලට ශ‍්‍රී ලංකාව හොද වෙළද පොලකි. විවිධ නම් වලින් අසුරා රටට එන කිරි පිටි වල ඇති පෝෂණය සහ අඩංගු රසායනික ද්‍රව්‍ය සම්බන්ධව ගැටලූ එමට තිබිය හැකිය. නමුත් ජාත්‍යන්තර ප‍්‍රමිති සහ තත්ත්ව සහතික අනුව කිරි නිෂ්පාදනය කරන බව පිළිගත යුතුය.
විශාල ධනයක් වියදම් කර රටට ගෙන්වන කිරි පිටි වෙනුවට අප රටට කිරි වලින් ස්වයං පෝෂණය වන අවස්ථාවක් නැත්ද යන්න විමසා බැලිය යුතුය. පරම්පරාවකට කලින් මෙරට ජීවත්වූවෝ දිනකට කිරි වීදුරවක් පානය කළේ නැත. එක එක ආබාධ සලකා වෙන වෙනම කිරි පානය කර නිරෝගී වූයේ ද නැත. මැදි ආදායම් රටක් වශයෙන් දියුණු වන විට සමාජයේ නොයෙක් තරාතිරම් වල පුරවැසියන්ගේ අවශ්‍යතා වෙනස්වෙයි. අලූත් ඇබ්බැහිවීම් ඇතිවෙයි. ලංකාවේ කිරි ගවයන්ගෙන් ලැබෙන දියර කිරි පානයට හුරු කරන වැඩ පිළිවෙලක් අරඹා ඇති නමුත් පිටි කර පැකැට් කළ කිරි වලට කර ඇති හුරුව එකවර නතර කරන්නට හැකියාවක් නැත.
අද පවතින තත්ත්වය අනුව කිරි පිටි ආනයනය නතර කළහොත් හෝ එයට බාධක පැනවුවහොත් රට තුළ කිරි හි`ගයක් ඇතිවීම වැළැක්විය නොහැකිය. දේශීයව නිපදවන කිරි ප‍්‍රමාණය අවශ්‍යතාවයෙන් සුළු කොටසක් පමණකි. රටට අවශ්‍ය තරමට කිරි නිපදවන්නට උත්සාහ කල හැකි නමුත් එය ප‍්‍රායෝගික එකක් නොවේ. මිලියන විස්සක ජනගහනයකට අවශ්‍ය කිරි නිපදවන්නට කිරි දෙනුන් ගේ අවශ්‍යතාවය ගණන් බැලිය හැකිය. මෙම දෙනුන්ගේ ආහාර ස`දහා තණ බිම් සොයා ගැනීම ගැටලූවකි. සීමිත ඉඩම් ප‍්‍රමාණයක් ඇති රට තුළ තණ බිම් සකසා කිරි දෙනුන් ඇති කරන ගොවි පරපුරක් ඇති කිරීම ද පහසු නැත. අද රට තුළ ඇති පසුබිම අනුව තරුණ පරපුර නැඹුරු වෙමින් සිටින්නේ තාක්ෂණික යුගයකටය. ඉක්මනින් ධනය උපයන්නට නීත්‍යානූකූලව හෝ නැතිනම් නීති විරෝධීව ලෝකයේ ඕනෑම තැනකට යන සූදානමක් ඔවුන් තුළ ඇත. පහසු රුකියා අත හැර කිරි දෙනුන් ඇති කරන්නට පෙළඹවීම අපහසුය. සෑම නිවෙසක්ම සත්ව පාලනයට හුරු කරන සැලසුම් සකස්කළ හැකි නමුත් ගොවි ගෙදරක පවා ශ‍්‍රමය හි`ග වන වකවානුවක එහි ප‍්‍රායෝගික බව ගැටලූවකි.
බරපතලම ප‍්‍රශ්නය කිරි වෙනුවෙන් පමණක් දෙනුන් ඇති කිරිමයි. තණ බිම් අඩු හෙයින් ධාන්‍ය ඇතුළු කෘතීම ආහාර සැපයිය යුතු අතර එය විශාල පිරිවැයකි. කිරි අවසන් වන මහලූ වන දෙනුන් සහ ගවයන් ට අත්වන ඉරණම කුමක්ද? සත්ව පාලනය සමග කිරි පමණක් නොව මාංශ නිෂ්පාදනයක් සිදුවෙයි. බෞද්ධ රටක් වන තායිලන්තය හලාල් සහතිකය ඇති ගව මස් මැද පෙරදිගට සැපයීම ආදායම් මාර්ගයක් කරගෙන සිටී. ශ‍්‍රී ලංකාව තමන්ගේ අවහ්‍යතාව සහ එයට ඇති ප‍්‍රායෝගික පැති ගැන විවෘතව සාකච්ඡුා කළ යුතුය. රටට ඇති කිරි අවශ්‍යතාව සහ එහි ඇති පදනම අවබෝධ කරගෙන අලූත් මත ඇති කිරිම වැඩදායකය.

මිලින්ද මොරගොඩ

Advertisements