milinda-prashna

2013.08.14- ලංකාදීප- මිලින්ද මොරගොඩ

ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන භෝග තේ, රබර් සහ පොල් බව සඳහන් වූ කාලය අවසන්ය. කෘෂි අපනයන ආදායම මෙරට ආර්ථිකයේ ඉතාමත් සීමිත කොටසක් බවට පරිවර්තනය වී තිබේ. කෘෂි අංශය ආර්ථිකයට දක්වන දායකත්වය අඩුවීම පමණක් නොව සමාජය කෘෂිකාර්මික කටයුතු වලින් ඈත්වීම ද යම් ප්‍රමාණයකට ගැටලූවක් විය හැකි ලකුණු පෙනේ.
ලෝකයේ අද කතාබහ මතු වන්නේ ආහාර අර්බුදයක් ගැනය. ඉඩම සීමා සහිත වන අතර ජනගහනය වර්ධනය වෙයි. ලෝකවාසීන්ට ආහාර සඳහා මුහුදෙන් සහ ගොඩබිමෙන් හ`දුනා ගත හැකි අලූත් දේ ගැන පර්යේෂණ ඇරඹී ඇත. එයට අනුව මුහුදු පාසි සහ නොයෙකුත් මුහුදු ජීවීන් වගා කර ආහාර නිපදවීමට සහ ආහාරයට සුදුසු කෘමීන් නම් කරන්නට ජාත්‍යන්තර ප්‍රජාව ක්‍රියාකරමින් සිටී. එවැනි පසුබිමක මෙරට වගාවට සුදුසු ඉඩම් උපරිම කාර්යක්ෂමතාවයෙන් අස්වද්දා අස්වැන්නක් උපයා ගැනීම සහ මීළග දසක කිහිපය තුළ කෘෂිකර්මයෙහි නිරතවන ශ්‍රමයට හිමිවන තැන පිළිබඳව පූර්ව තක්සේරුවකට සුදුසු කාලය එළැඹ තිබේ.

වැඩිම ඉඩම් ප්‍රමාණයක් තේ වගාවට වෙන් කර ඇති නමුත් එයින් රටට දෙන ආදායම ප්‍රමාණවත් නැත. තේ අපනයනයෙන් රටට ලැබෙන්නේ ඇමරිකානු ඩොලර් 1.4 ක මුදලකි. මැද පෙරදිග ඇතුළු රටවලට ගොස් වැඩකරන ජනතාව එම ආදායම මෙන් හය ගුණයක් ඉහළ විනිමය ප්‍රමාණයක් උපයයි. තේ වගාව ඵලදායීතාව දියුණු නොකළහොත් අනතුරකට මුහුණ දෙන්නට සිදුවනු ඇත. වී ගොවිතැන ක්‍රමයෙන් දියුණු නමුත් ඉදිරි කාලය තුළ රටට අතිරික්ත වී අස්වැන්නක් ලැබෙනු ඇති බව පෙනේ. ජාත්‍යන්තර තරගකාරීත්වයට අනුව නිපදවන්නට නොහැකි වුවහොත් අතිරික්ත සහල් වලට වෙළඳ පොලක් සොයා ගැනීම අපහසුය. පොල් සහ රබර් වගාව කෙරෙහි ජනතාවගේ උනන්දුව අඩු වෙමින් ඇති බව පෙනේ. වතු ඉඩම් කැබැලි කරමින් සිටින අතර අයිතිකරුවන් ආදායමක් ඇති වෙනත් අංශ වලට ඉඩම් පවරමින් සිටින වකවානුවකි. පොල් සහ රබර් අපනයන ආදායම අඩුවීම පමණක් නොව රටට උවමනා තරමට අස්වැන්න නොලැබුනහොත් එය බරපතල තත්ත්වයකි. ලෝකයේ හොඳම කුරුඳු නිපදවන්නා ශ්‍රිලංකාව නමුත් අද එහි දියුණුවට ගෙන ඇති අවධානය සුළු එකකි. අපනයනය ඉලක්ක කරගෙන කුරුඳු වගාව නැංවීමෙන් රටට ස්ථාවර විනිමය පරාව මාණයක් උපයා ගන්නට හැකියාව තිබේ. මෙම සියලූ අවස්ථා දැන් පවතින ප්‍රමාණයෙන් පවත්වාගෙන යන්නේ ද පොහොර සහ රජයේ වෙනත් වගා සහනාධාර සහිත රාමුවක බව ද අමතක කළ යුතු නැත. දිරිගැන්වීම සහ සහනාධාර නතර කළහොත් සඳහන් කරන ලද වගාවන් දැන් පවතින තත්ත්වයෙන් පවා නඩත්තු කළ නොහැකි බව යථාර්ථයයි.
මෙවැනි පසුබිමක් මෙරට කෘෂිකර්මයෙහි පවතින්නේ කලින් ද සඳහන් කළ පරිදි ලෝකයේ ආහාර අර්බුදයක් නුදුරු කාලයේ දී ඇති විය හැකිය යන සාකච්ඡාව පවතින වකවානුවකය. ලාභදායී ආකාරයට වී ගොවිතැන පවත්වාගෙන යන්නට සහ නවීන ක්‍රම උපයෝගී කරගැනීමට උනන්දු වන තරමට අස්වැන්න වැඩි කර ගත හැකිය. එයින් ආදායම ලැබෙන බව තහවුරු වන විට තරුණයන් තාක්ෂණික මෙවලම් සමග ගොවිතැනට යළි එකතු කළ හැකිවෙයි. වී වගාවෙන් අස්වැන්න වැඩිවන බව පෙනෙන විට වගා නොකරන කන්නවල සහ හොඳ අස්වැන්නක් උපයා ගත නොහැකි කුඹුරු වලින් එලවලූ සහ පලතුරු මහා පරිමානයෙන් වගා කරන්නට උනන්දුවක් ඇති කළ හැකිය. තේ වගාවේ වැඩි දියුණුව ද, රබර් සහ පොල් වගාව ආශ්‍රිතව පවතින ගැටලූ හඳුනාගෙන ඉදිරි දසකයට සූදානම්වීම ඉතාම වැදගත් කාර්යභාරයකි. සම්ප්‍රදායික කුරුඳු අපනයනය වෙනස් කළ යුතුය. කෙලින්ම පාරිභෝගිකයා අතට ලැබෙන සේ මිල වටිනාකම් එකතු කළ දෙයක් ලෙස කුරුඳු අපනයනයට අවස්ථා ඇති කළ හැකිය. මෙවැනි අලූත් දේ සොයන තරමට රට තුළ ආර්ථික ප්‍රසාරණයක් සිදුවන අතර ජාත්යවන්තරයේ දැනට පැන නැගෙන ආහාර අර්බුදය ගැන සංවාදයට අපට ද එකතු විය හැකිවනු ඇත.

 

Advertisements