Image2013.08.07- ලංකාදීප- මිලින්ද මොරගොඩ

 

ආණ්ඩුවේ ව්‍යවසාය වල සාර්ථක අසාර්ථක භාවය පිළිබඳව නොයෙක් අවස්ථාවල සාකච්ඡ කර තිබේ. දැනට පෙනෙන ආකාරයට රජයට අයත් ආයතන පවත්වාගෙන යන්නේ විශාල අලාභයක් සහිතවය. අකාර්යක්ෂමතාව, දූෂණ සහ දේශපාලන අවශ්‍යතා අනුව මෙහෙයවීම ගැන නැගෙන චෝදනා බරපතලය. එසේ තිබිය දී රාජ්‍ය නොවන සංවිධාන ගැන ද රට තුළ ඇත්තේ ප‍්‍රසන්න මතයක් නොවේ. රාජ්‍ය නොවන ආයතන වල ක‍්‍රියාකාරීත්වය, ඒවායේ අරමුණු සහ අරමුදල් වැය කරන ආකාරය ගැන බරපතල ප‍්‍රශ්න නොයෙක් විට මතු කරයි. ඉලක්ක ගත අරමුණක් සාක්ෂාත් කර ගැනීමට ව්‍යාපෘති සකස් කරන රාජ්‍ය නොවන සංවිධාන එයට අරමුදල් සම්පාදනය කරගන්නා අතර එයින් සමාජයට ප‍්‍රතිලාභ අත්වන ආකාරයට වැඩසටහන් පවත්වාගෙන යාම සාමාන්‍යයෙන් සිදුවෙයි. නමුත් ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන එකතු කර ගන්නා ධනය අරමුණට පරිබාහිර දෙය වෙනුවෙන් වැය කරන අතර එයින් රටට ප‍්‍රශ්න ඇති කරන බවට ද මතයක් ඇති වෙමින් තිබේ.

 

ආණ්ඩුවේ ආයතන සහ රාජ්‍ය නොවන සංවිධාන යනු ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමය තුළ එකිනෙකට බද්ධ නැති වැදගත් ව්‍යුහයන්ය. ප‍්‍රජාතන්ත‍්‍රවාදය අනුව රජය ජනතා අභිලාශයන් වෙනුවෙන් මහජන නියෝජිතයන්ගෙන් සමන්විතය. මහජන නියෝජිතයෝ හමුවී සාකච්ඡ කර පක්ෂ විපක්ෂ අදහස් අවසානයේ දී හොඳම සැලසුම කි‍්‍රයාවට නගති. නමුත් යම් අවස්ථාවක රජය අසාර්ථක බව බටහිර ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල අවධානයට ලක්විය. ජනතාවගේ යහපත වෙනුවෙන් වැය කරන මුදල් වලින් අවසානයේ දී කෙලින්ම ජනතා යහපතට යෙදවෙන ප‍්‍රතිශතය සුළු එකක් වන අතර අතර මැද ඇති ආයතනික යාන්ත‍්‍රණයේ ඇති අකාර්යක්ෂමතාව සහ නිලධාරීන් අනුගමනය කරන නීති හා රෙගුලාසි නිසා මහජන සේවය ඉක්මනින් ඉටු නොවන බවට තර්ක පැන නැගින.

මහජනතාව නියෝජනය කරන ආයතන ව්‍යුහයක් ගොඩනැගුනේ එයට විකල්පයක් වශයෙනි. විකල්ප ආකාරයකට ජනතාව සමග සම්බන්ධවී සංවර්ධන අවශ්‍යතා ඉටු කරගන්නා රාජ්‍ය නොවන සංවිධාන වලට ජාත්‍යන්තර සමාජයේ ඇති පිළිගැනීම සැලකිය යුතු එකකි. සංවර්ධන ව්‍යාපෘති සඳහා ලෝකය පුරා හුවමාරු වන ධනයෙන් සෑහෙන කොටසක් රාජ්‍ය නොවන සංවිධාන ඔස්සේ ජනතාව අතට පත්වන බව නිරීක්ෂණය කළ හැකිය.

ධනය නිපදවන්නේ පුද්ගලික අංශයයි. එයට දක්ෂ පුද්ගලික ව්‍යවසායකයන්ය. ආණ්ඩු ප‍්‍රතිපත්ති සම්පාදනය කරන අතර සමාජයට යුක්තිය සහ සාධාරණත්වය ඉටු කරයි. පුද්ගලික අංශය තරගකාරීව ධනය උපයයි. රාජ්‍ය නොවන සංවිධාන ස්වේච්ඡවෙන් කැපවී මෙහෙයැවෙන අරමුණක් තිබේ. අද සාමාන්‍යයෙන් පිළිගැනෙන සම්මත රාමුව එයයි. එය ලෝකයේ සාර්ථකත්වයට බලපා තිබේ. රාමුව බිඳිය හැකිය. එයට විකල්පයක් ඉදිරිපත් කිරීම අවශ්‍යය.

ආණ්ඩුවේ ආයතන පමණක් නොව එයට විකල්පයක් වශයෙන් බිහිව ඇති රාජ්‍ය නොවන සංවිධාන ක‍්‍රමයට එරෙහිව ද අද නොයෙක් මත ඇතිවෙයි. පුද්ගලික අංශය ගැන ඇත්තේ වෙනත් අදහසකි. පවතින තත්ත්වයට අනුකූල වන ආකාරයට යථාර්ථය වටහා ගැනීම සමාජයේ වගකීමකි. රටට ගැලපෙන ආයතනික ව්‍යුහය කුමක්ද? වරද ඇත්තේ කොතැනද?

Advertisements