Image2013. 07. 14- ලංකාදීප- මිලින්ද මොරගොඩ 

තමන්ගේ දරුවා හොඳ පාසලකට ඇතුලත් කරගන්නේ කොහොමද යන්න දෙමවුපියන්ට ඇති ප‍්‍රශ්නයකි. ගමනක් බිමනක් යන්නට මගට පිවිසෙන මගියාට එහි ඇති අපහසුව බලවත් ගැටලූවකි. ලෙඩක් දුකක් වැළඳී ප‍්‍රතිකාර ගන්නට රෝහලකට යන දුගී දුප්පත් ජනතාවට මුහුණ දෙන්නට සිදුවන්නේ තවත් ප‍්‍රශ්න වැලකටය. මෙම එකිනෙකට ඈදී ඇති ප‍්‍රබල එදිනෙදා අවශ්‍යතා තුනකි. රටට කියන්නේ නම් ඒවා නොමිලේ දෙන බවය. ජනතාවට සහනයක් වශයෙන් සැපයෙන සේවා වගය. අධ්‍යාපනය, ප‍්‍රවාහනය සහ සෞඛ්‍ය වෙනුවෙන් ආණ්ඩුව විශාල මුදලක් වියදම් කරයි. නමුත් එයින් ලැබෙන සේවය පොදු ජනතාව තෘප්තිමත් කරන එකක් නොවේ. ඔවුන් උපයන ආදායමෙන් විශාල කොටසක් ද අධ්‍යාපනය, ප‍්‍රවාහනය සහ සෞඛ්‍ය අවශ්‍යතා වෙනුවෙන් වියදම් කරන්නට සිදුව ඇත. පවතින තත්ත්වය තුන් ඈඳුතු නමුත් පොදු ජනතාවට ඇත්ත නොපෙනෙන කතන්දරයක් පමණකි.

නිදහස ලැබීමෙන් පසු ගත වූ දශක හයක කාලය තුළ අධ්‍යාපනය, ප‍්‍රවාහනය සහ සෞඛ්‍ය යන අංශ තුන පවත්වාගෙන යන්නේ සහන පදනමකටය. එහි සම්පූර්ණ පිරිවැය කෙලින්ම ජනතාව මත පැටවී නැත. ආණ්ඩුව මහජනතාවගෙන් උපයා ගන්නා බදු වලින් සෑහෙන කොටසක් මෙම අංශ වල අවශ්‍යතා වෙනුවෙන් වැය කෙරේ. මෙම සේවා, ජනතාවගේ අවශ්‍යතා පරිදි අඛණ්ඩව පවත්වාගෙන යන්නට රජයේ බදු ආදායම ප‍්‍රමාණවත් නැත. ප‍්‍රතිපත්ති වශයෙන් අලූත් ආකාරයකට සැලසුම් සකස් නොවන අතර ජන ජීවිතය නගා සිටුවන ආකාරයට යම් වෙනසක් සිදු නොවන බව ද පෙනේ. මහජනතාවගේ හැබෑ උවමනාව සහ ආණ්ඩුවකට කළ හැකි දේ අතර පරතරය පුළුල් වෙමින් තිබේ.

අධ්‍යාපන, ප‍්‍රවාහනය හා සෞඛ්‍ය යන අංශ ආණ්ඩුවේ සහනාධාර මත සම්පූර්ණයෙන් පවත්වාගෙන යා නොහැකි පසුබිමක එයට පුද්ගලික අංශයට ද ප‍්‍රවේශ වී ඇත. අධ්‍යාපනය නිදහස් බව ප‍්‍රකාශ වන නමුත් යථාර්ථය එය නොවේ. දරුවන්ගේ ඉගෙනුම වෙනුවෙන් දෙමවුපියන් වැය කරන ධනය සෑහෙන එකකි. පුද්ගලික අධාපනය රට තුළ පවත්වාගෙන යන ඉඩ කඩ නිසි රාමුවකට අනුව සකස්කර දෙන්නට අප සූදානම් නැත. ප‍්‍රවාහනයට සහන දෙන බව පළවන නමුදු එයට තරගකාරී ආකාරයට පුද්ගලික අංශයට ව්‍යාපාර කරගෙන යන්නට අවශ්‍ය පසුබිම සකස් කරන්නට ප‍්‍රතිපත්ති සම්පාදකයන් නිර්භීත නැත. සෞඛ්‍ය ප‍්‍රතිපත්තිය ද එසේය. රජයේ රෝහල් වල ඇති ප‍්‍රශ්න සාමාන්‍ය ජනතාව දනී. නීති රීති සකස් කර, පුද්ගලික රෝහල ව්‍යාපාරයක් වශයෙන් තහවුරු කරන්නට ඇත්තේ මැලිකමකි. අවසානයේ දී ආණ්ඩුව කරන වියදම ගැන මහජනතාවගෙන් කෘතඥතාවයක් නැත. මහජන මුදල් වියදම් කරන අතරතුර තමන්ගේ ධනය වියදම් කර ඉගෙනගන්නටත්, ප‍්‍රවාහන අවශ්‍යතා සපුරා ගන්නටත් සහ ලෙඩට දුකට බෙහෙත් ගන්නටත් සාමාන්‍ය ජනතාවට සිදුව තිබේ. මෙම පසුබිම තුළ සෑහීමකට පත්වන කිසිවෙකු නැතිබව පැහැදිලිව පෙනේ.

රටට ගැලපෙන අධ්‍යාපන ක‍්‍රමයක් ගැන අලූතින් සිතන්නට අවශ්‍යය. යම් අධ්‍යාපන මට්ටමක් දක්වා සම්පූර්ණයෙන් නොමිලේ සමාන අධ්‍යාපන දෙන අතර එයින් පසු ගාස්තු අයකිරීම ගැන ප‍්‍රතිපත්ති සම්පාදනය කළ යුතුය. ගාස්තු ගෙවන්නට අපහසු දක්ෂ සිසුන්ට ශිෂ්‍යත්ව ක‍්‍රම ඇති කළ හැකිය. ප‍්‍රවාහනයට ද නියම මිල ගෙවා මහ මග සැනසිල්ලෙන් ගමන් කරන්නට හැකි ආකාරයට කාර්යක්ෂමතාව නැංවීම අවශ්‍යය. ජනතාවගේ සුව සේවාව කොටසක් ආණ්ඩුව කරන අතර ඉතිරි කොටස වෙනුවෙන් සමාජ රක්ෂණ ක‍්‍රම ඇති කිරීම වැදගත්ය.

එයට මග පාදා ගත හැකිවන්නේ ප‍්‍රතිසංස්කරණයකින් පමණකි. රට දියුණු වන විට අලූත් පැති ගැන ජනතාව සහ ප‍්‍රතිපත්ති සම්පාදකයන් අතර සංවාදයක් පවත්වාගෙන යා යුතුය. එවිට ආණ්ඩුවකට කළ හැකි දේ සහ කරන්නට බැරි දේ ගැන අවබෝධයක් සමාජයට ලැබේ. අලූත් වැඩ සටහන් සම්පාදනය කරන්නට හැකියාව ලැබෙන අතර පුද්ගලික අංශයට ආයෝජන අවස්ථා ඇතිවෙයි. අලූත් ව්‍යාපාර බිහිවන විට ආර්ථිකය සක‍්‍රීය වෙයි. එයින් උපයාගන්නා වැඩිපුර බදු සමාජයේ අවශ්‍යතා ඇති තැන් සොයා සහනාධාර වෙනුවෙන් වියදම් කරන්නට ආණ්ඩුවලට හැකියාව ලැබෙනු ඇත.

Advertisements