Image2013.07.10-ලංකාදීප- මිලින්ද මොරගොඩ

බුද්ධ දර්ශනය තර්ජනයකට ලක්ව නැත. නමුත් එහි ප‍්‍රතිරූපයට අභියෝග එල්ල වෙමින් තිබේ. රට තුළ ද රටින් බැහැරව ද වාර්තාවන සිද්ධි සම්පිණ්ඩනය කරන විට පෙනෙන්නේ ශාන්ති නායකයාණන්ගේ දර්ශනය වෙනුවට අන්තවාදී වෛරී පසුබිමක් ඇති වන බවය. මැදුම් පිළිවෙත බුදු දහමේ පදනමයි. අන්තවාදයක් එහි නැත. අට ලෝ දහමට අනුව දුක සැප සමව ඉවසීම එහි පිළිවෙතයි. ආගමික අන්තවාදය දරුණු එකකි. අන්තවාදී භක්තිකයන් අතර ඇවිලෙන මතවාද යුද ගැටුම් ඇති කරන්නට මග පාදා ඇති බව ඉතිහාසය පෙන්වන කරුණකි. බුදු දහම එයට වෙනස්ය. ගැටුම වෙනුවට යථාවබෝධය ඇති කරයි. මැදහත්ව විමසා බලා සත්‍ය ගවේශනයට ඉඩ දෙයි. නමුත් පවතින සමාජ ගෝලීය කරණයේ යම් යම් විෂමතාවලට මුහුණ දෙන්නට බුද්ධාගමට ද සිදුව තිබේ.

පසුගිය ටයිම් සඟරාවේ කවරයට භික්ෂු නමකගේ පින්තූරයක් ඇතුලත් කර තිබිණ. එම භික්ෂුව ද එයින් මතු කර ඇති කරුණු ද පෙන්වන්නේ බුදු දහම තුළ නොතිබුණ අන්තවාදයක් ගැනය. බුද්ධගයාවේ සිදුවූ පිපිරීම් බෞද්ධයන් තුළ මහත් තැති ගැන්මක් ඇති කර ඇත. බංගලාදේශයේ ගිනි තැබීම්, බාමියන් බුදු පිළිම විනාශ කිරීම සිට මෙවැනි නොයෙක් සිදුවීම් එකිනෙකින් පෙළ ගැස්සවිය හැකිය. මේවා හුදෙක් සිද්ධි පමණකි. දර්ශනය යටපත් කළ නොහැකි කණගාටුදායක පැල්ලම්ය. ඉන්දුනීසියාවේ බොරෝබුදුර් ලෝක ප‍්‍රකට ඓතිහාසික සිද්ධස්ථානයකි. දීර්ඝ කාලයක් නොසලකා යටපත්ව තිබිණ. බුද්ධාගම වසා එය වෙනුවට අන් ආගම් පැතිරිණ. නමුත් ඉන්දුනීසියාවේ පවා යළි බෞද්ධ ප‍්‍රබෝධය ඇති වෙමින් තිබේ. ශ‍්‍රී ලංකාවේ ද බුද්ධාගමටත්, කහ සිවුරටත් නොයෙකුත් බලපෑම් සිදුවූ බව ඉතිහාසය දක්වයි. දළදා වහන්සේ ආරක්ෂා කරගන්නට නොයෙක් කැපවීම් කරන්නට සිදුවූ බව පොත පතෙහි දැක්වෙයි. මෙරට උපසම්පදාව ද නැතිවී ගියේය.  සියමයෙන් හා බුරුමයෙන් ලැබුණ ආභාශය මත යළි ස්ථාපිත කර තිබේ. එය යථාර්ථයයි.

බුද්ධ දර්ශනය සර්ව කාලීන නමුත් එයට එකතුවන නොයෙක් ආගන්තුක තත්ත්ව යටතේ දහම ද කලක දී යටපත්ව යන බව බොදුනුවන්ගේ විශ්වාසයයි. දහමේ සංකේතය කහ නූලකට සීමා වනු ඇති බවට ද මතයක් ඇත. සියලූ දේ සදාකාලික නැති අනිත්‍ය ස්වභාවය ගැන බුදු දහමෙන් ගෙනෙන දැක්මට එය සාක්ෂියකැයි සිතේ. දහම සහමුලින්ම ජනතාව අතරින් නැතිවූ කාලයකට පසු තවත් යුගයක දී නැවතත් බුද්ධෝත්පාද යුගයකට පසුබිම සැකසෙනු ඇතැයි ද කියැවේ.

මහාචාර්ය වල්පොල රාහුල හිමිපාණන්ගේ වදන් වලට අනුව දහම පවතින්නේ භික්ෂු, භික්ෂණී, උපාසක සහ උපාසිකා යන සතර කොටස තුළ පවතින නොබිදන සහ සම්බන්ධතාවය අනුවය. එක් එක් පිරිස සතු වගකීම මහත්ය. යුතුකම බරපතලය. යම් ප‍්‍රමාණයක පිරිහීමක් ගැන විවේචන තිබේ. පිරිහුණ ශාසනික විනය නැවත ඇති කරන්නට සංගායනාවකට යා යුතු කාලයකි. කතිකාවත ගැන අවධානය යොමු කළ යුතුය. ශාසනික වතාවත් වලදී වගකීම සහ යුතුකම කෙරෙහි මෙරට බොදුනුවන් මනා සැලකිල්ලත් දක්වන බව පෙනේ. බුද්ධගයාවේ සිදුවීම හමුවේ සංවේගයට පත් ලාංකිකයන්ගේ අදහස් එයට උදාහරණයකි.

දහම සහ සමාජය දෙස බලන විට සුපසන් සංවාදය වර්තමානයේ ඉතාම වැදගත් සාධකයක් බව පෙනේ. ගිහි පැවිදි දෙකොටස අතර දහම හා එහි අනන්‍ය ස්වභාවය ගැන පුළුල් අදහස් හුවමාරුවක් අවශ්‍යය. එය සිදුවිය යුතු මැදහත්වය. අන්තවාදයෙන් තොරවය. සෑම පන්සලකම දායක සභාවක් තිබේ. දහම මුහුණ දී ඇති තත්ත්වය ගැන පන්සල හා දායක සභාව අතර සාකච්ඡ කළ යුතුය. ධර්මධර වියත් හිමිපාණන් වහන්සේලා සහ ගිහි සමාජයේ නායකයන් එය කේන්ද්‍රගත කිරීම කෙරෙහි සැලකිල්ල දැක්වීම අවශ්‍යය.

Advertisements