Image2013.06.19- ලංකාදීප-මිලින්ද මොරගොඩ 

 

නිදුක් නිරෝගීව ජීවත්වීමේ වටිනාකම දැනෙන්නේ අසනීපව ප‍්‍රතිකාර ගන්නට සිදුවූ විටෙකය. මෙරට ජනතාවට සෞඛ්‍ය සේවාව නොමිලේ සැපයෙන අතර අවශ්‍ය නම් පුද්ගලික රෝහල් සත්කාරක සේවාව ද තිබේ. රජයේ රෝහල් වල දක්ෂ වෛද්‍යවරු සිටිති. කැපවීමෙන් රෝගී පරීක්ෂාවෙහි නිරත ඔවුහු ජීවිත බේරා ගැනීමට වෙහෙසෙන්නේ කාල වේලාවක් නැතිවය. සෞඛ්‍ය අංශයේ අනෙකුත් සේවාවල නිරත කාර්යය මණ්ඩලය ද එයට නොදෙවෙනිය. නමුත් රජයේ රෝහල එහි සම්පත් සහ සේවා සම්බන්ධ කළමණාකරනයෙහි ප‍්‍රශ්න ඇති බව පැහැදිලිව නිරීක්ෂණය කළ හැකිය.

රජයේ සේවාවට සමාන්තරව පුද්ගලික රෝහල් පද්ධතියක් ද මෙරට ක‍්‍රියාත්මකය. ඉහළම සැප පහසුකම්, පමණක් නොව ඉහළම තාක්ෂණික උපකරණ ද පුද්ගලික රෝහල්වල ඇත. ප‍්‍රශ්නය ඇත්තේ රජයේ රෝහලක සම්පූර්ණයෙන් නොමිලේ කරන සේවාව වෙනුවෙන් පුද්ගලික රෝහලක අය කරන ගාස්තුවයි. සාමාන්‍ය මහජනතාවට එවැනි උසස් රෝහලක නතර වී දින දෙක තුනක ප‍්‍රතිකාර ගන්නට නම් විශාල වියදමක් දරන්නට සිදුවෙයි. රෝහලේ ප‍්‍රතිකාර පමණක් නොව වෛද්‍යවරු හමුවී රෝග නිරීක්ෂණයට රසායනික වාර්තා හා වෙනත් තාක්ෂණික සේවා වෙනුවෙන් ද වැය කළ යුතු මුදල සැලකිය යුතු බව යථාර්ථයයි.

හදිසි ප‍්‍රතිකාර ගත යුතු අවස්ථාවක රජයේ රෝහලක එයට පහසුකම් ඇතත් අධික රෝගීන් පිරිසක් එහි ප‍්‍රතිකාර පතමින් ලේඛනගතව සිටින විට ප‍්‍රතිකාර ලැබෙන්නේ ලියාපදිංචි වූ අනු පිළිවෙලටය. සැත්කමක් වෙනුවෙන් ලේඛනයෙන් පිට අවස්ථාවක් ලැබෙන්නේ එය හදිසියේ සිදුවූ මාරාන්තික එකක් නම් පමණකි. ග‍්‍රාමීය දිසා හෝ පලාත් මට්ටමින් ඇති ජාතික වැනි  ඕනෑම රජයේ රෝහලක වාට්ටු එහි ඇති නේවාසික පහසුකම් ඉක්මවා ප‍්‍රතිකාර ගැනීමට රෝගීන් සිටින බව දැක ගත හැකිය. එපමණක් නොව කොපමණ මිල අධික නමුත් පුද්ගලික රෝහලක ප‍්‍රථිකාර ගන්නට කාමරයක් වෙන් කර ගැනීම ද පහසු නැති තරමට රෝගීන් බහුලය. රෝහල එහි සත්කාර පමණක් නොව සාමාන්‍යයෙන් වෛද්‍යවරයෙකුට රෝගියෙකු සමග සාකච්ඡා කර රෝගී තත්ත්වය හ`දුනාගන්නට ඇති කාලය ද ඉතා සීමිතය. රජයේ පමණක් නොව මුදල් ගෙවා සේවාව ලබා ගන්නා පුද්ගලික අංශයේ පවා වෛද්‍යවරු දිනකට පරීක්ෂා කරන රෝගීන්ගේ ගණන විශාලය. ඔවුන්ට නිසි පරිදි නිවී සැනසිල්ලේ රෝග පරීක්ෂාවකට ඉඩක් ලැබෙන්නේ ද යන්න ගැටලූවකි. එය මෙරට සෞඛ්‍ය සේවාවේ පවතින කාර්ය බහුල බව පෙන්වන එක ලක්ෂණයකි.

ජනතාවට අවශ්‍ය සත්කාර සියල්ල නොමිලේ සැපයිය හැකි තරමට රජයේ රෝහල් සේවාව පරිපූර්ණ නැත. එපමණක් නොව පරිපූර්ණ යැයි පෙනෙන පුද්ගලික අංශයේ රෝහල් වලින් සේවාව ලබා ගැනීමට මුදල් නොමැකිව බහුතර ජනතාව පීඩාවට පත්ව ඇත. එක පැත්තකින් සැපයෙන සෞඛ්‍ය පහසුකම් නොමිලේ දිය යුතු යැයි බල කරන අප, තවත් පැත්තකින් මුදල් ගෙවා ලබාගත හැකි රෝගී සත්කාරක සේවාවේ ගුණාත්මක භාවය හා අය කරන ගාස්තු ගැන විවාද කරන සමාජයකි. මෙම සියළු පරස්පරතා විදහා දක්වන්නේ ඉතාම වැදගත් සෞඛ්‍ය අංශය කෙරෙහි රට තුළ ඇති අසම්පූර්ණ ප‍්‍රතිපත්ති බව පෙනේ.

මැදි ආර්ථිකයක් කරා ගමන් කරන රටක් වශයෙන් ඉදිරි සැලසුම් හා ප‍්‍රතිපත්ති සමාජය සමග සාකච්ඡා කර නිසි ක‍්‍රමෝපාය මාර්ග සැකසීම වැදගත්ය. පොදු ජනතාවට අනිවාර්ය වෛද්‍ය රක්ෂණ ක‍්‍රමයක් අවශ්‍යය. රජය හෝ පුද්ගලික අංශය එම රක්ෂණ ක‍්‍රමය ව්‍යාප්ත කළ යුතුය. ප‍්‍රතිකාර ලබන්නේ කොතැනින්ද හා වියදම යන්න නොව ප‍්‍රතිකාර වෙනුවෙන් සමාන අයිතිවාසිකම් ඇති සමාජයක් ගොඩනැගීම වගකිමකි. එය කළ හැකි වන්නේ අලූත් ආකල්පයන්හි පිහිටා ක‍්‍රියා කිරීමෙන්ය. රජයේ සෞඛ්‍ය සේවාව නිසි ආකාරයට සැලසුම් කළ යුතු අතර පුද්ගලික අංශයට ආයෝජනයට ඉඩදිය යුතුය. මෙම සේවා වල තත්ත්වය හා ගුණාත්මක භාවය ආරක්ෂා කිරීමට නිසි නියාමනයක් ද අවශ්‍යය. තද නීති පනවා සෞඛ්‍ය සේවාව පාලනය අවශ්‍යය. වඩා වැදගත් වන්නේ රෝගියෙකුට ප‍්‍රතිකාර ගැනීමට ඇති පහසුව තහවුරු කිරීමයි. 

Advertisements