Image2013.05.22-ලංකාදීප-මිලින්ද මොරගොඩ

විදුලිය ගාස්තු වෙනුවෙන් මහජනතාව ගෙවන මිල සම්බන්ධව පැන නැගුන විවාදය තවමත් අවසන්ව නැත. දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති විදුලිය ගාස්තු වැඩි කිරීමට එරෙහිව සටන් මගකය. විදුලිය බිල ගෙවා ගැනීමට නොහැකිව ජනතාව පාරට බැස සටන් කරන අවස්ථාවක වායු සමීකරණ යන්ත‍්‍ර භාවිතා කිරීමෙහි ප‍්‍රයෝජන ගැන කතා කිරීම අවශ්‍යම නැති මාතෘකාවකි.

වායු සමීකරණය ගෙවී යන සියවසේ වැදගත් මෙවලම් අතර එකක් බව සිංගප්පූරුවේ හිටපු අගමැති ලී ක්වාන් යූ මහතා ප‍්‍රකාශ කරයි. එය වැඩ පහසු කරන අතර කාර්යක්ෂමතාව නංවන බව ඔහුගේ අදහසයි. සාමාන්‍ය පරිසර තත්ත්ව යටතේ වැඩකරන කාර්යාලයකට වඩා ඉක්මනින් හා ඵලදායීව වායු සමනය කරන ලද කාර්යාලයක හෝ කම්හලක වැඩ කළ හැකි අතර එය තරගකාරී ආර්ථික රටාව තුළ ඉදිරියට ගමන් කරන්නට විශාල ප‍්‍රයෝජනයකි. කෘෂිකර්මය පවා පරිසර තත්ත්ව පාලනය කර වැඩි අස්වැන්නක් ලබන වකවානුවකි. සිංගප්පූරුව දියුණු කරන වකවානුවේ දී එරට අගමැතිවරයාගේ අත් දැක ඇති කරුණ විමසිල්ලෙන් අධ්‍යයනය කළ යුතුය.

දැඩි හිරු රුස් මැද වැඩ කිරීම අපහසුය. එය ඇත්තකි. උණුසුම් සහිත දිනයක කරන රාජකාරි මානසික තෘප්තියක් රහිතව සිදුවෙයි. එහි ඇත්තේ විඩාවකි. විවේකය වෙනුවෙන් සංචාරක හෝටල වලට පමණක් වෙන්ව තිබුණ වායු සමීකරණය සහ හො`ද කාර්යාල සුවපහසුව කම්හලට හා වැඩබිමට ද පැමිණ ඇත. වෙහෙසකින් තොරව වැඩ කරන්නට ඉඩ ලැබුණේ ඒ අනුවය. මුල් කාලයේ දී  බලශක්තිය වෙනුවෙන් ගෙවූ මුදල බරපතල එකක් නොවේ. සාමාන්‍ය මිලක් ගෙවා ලබා ගන්නා විදුලිය සහිත වායු සමීකරණ පද්ධතියකින් යුත් කම්හලක සිදුවන නිෂ්පාදනය ආර්ථික වාසිදායක එකක් විය. නමුත් බලශක්තියට ගෙවන මිල ඉහළ යමින් තිබේ. ලෝකයේ සෑම රටක්ම අඩු වියදමකින් විදුලිය නිපදවිය හැකි ආකාරය ගැන වෙහෙසවෙයි. එසේ තිබිය දී වැඩි මිලක් ගෙවමින් වායු සමීකරණ යන්ත‍්‍ර භාවිතා කරන්නට ද එයින් නිපදවන දෙයට වායු සමීකරණ යන්ත‍්‍ර භාවිතයට ගෙවන විදුලියේ මිල ද එකතු වන්නට පටන්ගෙන තිබේ. කම්හලේ හා කාර්යාලයේ කාර්යක්ෂමතාව බරපතල ප‍්‍රශ්නයකට මුහුණ පා ඇත. එම ප‍්‍රශ්නය තවත් උග‍්‍ර එකක් බවට පත්වන්නේ වායුසමනය කර ඇති කාර්යාලයක හෝ කම්හලක කරන වැඩි ප‍්‍රමාණය සීමා සහිත වන අවස්ථාවකය.

රටක ජාතික නිෂ්පාදනයට ඵලදායීතාව වැදගත්ය. ආසියානු කලාපයේ රටවල පුරවැසියන් ගේ ක‍්‍රියාකාරීත්වය සලකන ආසියානු ඵලදායීතා දර්ශකය අනුව මැලේසියානු වැසියෙකුගේ දිනක ඵලදායීතාව ඇමරිකානු ඩොලර් 15 කි. සිංගප්පූරුවේ දෛනික ඵලදායීතාවය ඇමරිකානු ඩොලර් 14.2 කි. දකුණු කොරියාවේ එය ඇමරිකානු ඩොලර් 26.3 ක් වන අතර ශ‍්‍රී ලංකාවේ ඵලදායීතාවය ඉතාමත් අඩුය. එය ඇමරිකානු ඩොලර් 6-7 අතර අගයක් ගනී.

වායු සමීකරණය කරන ලද කාර්යාල හා කම්හල් පද්ධතිය සහිතව අත් පත් කරගෙන ඇති ශ‍්‍රී ලංකාවේ පවතින මෙම ඵලදායීතාවය ප‍්‍රශ්න කළ යුතුය. වැඩියෙන් වැඩ කරන දිරියෙන් ඉදිරියට යන්නට රටට ඇති හැකියාවට බාධා පැනවී ඇත්තේ කොතැනින්ද? වායුසමීකරණය වැඩ කරන්නට හො ඳ පසුබිම සකසන්නේ නම් එය පණ ගන්නවන්නට වැය වන විදුලිය රටට දැරිය හැකි බරක් ද? ඉහළම විදුලිය බිලක් ගෙවමින් සහ එය උපයෝගී කරගෙන වායු සමනය කර ඇති වැඩ බිමකින් රටට ලැබෙන ආර්ථික ඵල ප‍්‍රයෝජන ගැන නැවත නැවතත් සිතා බැලිය යුතු මොහොතක් උදා වී තිබේ.

 

Advertisements