08/05/2013 – ලංකාදීප
milinda-prashna2
වැලිපිල්ලේ ලියා අකුරු ඉගෙනගත් මතකය ඇති පැරණි පරම්පරාවේ ඇතැමෙකු අදටත් අප අතර සිටිනවා විය හැකිය. පුස් කොළයෙන්, පත පොතින් පසු පරිගණක ලේඛනය දක්වා දැනුම ලබන ආකාරය මේ වන විට විකාශය වී තිබේ. බටහිරට යටත් වන්නට කලින් අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානය වූයේ පන්සලයි. අනතුරුව මිශනාරී අධාපන ක‍්‍රමය ව්‍යාප්ත විය. පාසල මූලික කරගත් අධ්‍යාපන ක‍්‍රමය මෙරට ඇති කළේය. යටත් විජිත භාවයෙන් මිදෙන විට යම් සම්මත අධ්‍යාපන රටාවක් රටට උරුම වී තිබිණ. නිදහස් අධ්‍යාපනය හා අධ්‍යාපනය ලැබීමට ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාවෙන් ඇති කර තිබෙන ප‍්‍රතිපාදන අවධානයට ලක්විය යුතුය. නමුත් වර්තමානයේ ශ‍්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත‍්‍රය නොයෙකුත් පරිවර්තන වලට ලක්වෙමින් තිබේ. අධ්‍යාපන ක‍්‍රමය නිදහස් බව ප‍්‍රකාශ වන නමදු එහි ඇත්තේ අප‍්‍රමාණ තරගයකි.
ශී‍්‍ර ලංකාවේ ඉගෙනුම ලබන ආකාරය සාකච්ඡුා කළ යුතු නමුත් අධ්‍යාපනයේ නැවුම් පැති ජාත්‍යන්තරය තුළ දිගහැරෙමින් තිබේ. ඉගෙනුම ලබන්නට තව දුරටත් පාසලට හෝ විශ්ව විද්‍යාලයට යා යුතු නැත. ලෝකයේ ප‍්‍රධාන පෙලේ විශ්ව විද්‍යාල සිය පාඨමාලා අන්තර් ජාලයට මුදාහැර තිබේ. එම විශ්ව විද්‍යාලයේ දේශන ශාලවේ දී සිසුන්ට කරන ඉගැන්වීම අන්තර් ජාලයෙන් ඕනෑම කොනෙකුට නැරඹිය හැකිය. තෝරාගත් පාඨමාලා වලට නොමිලේ ලියාපදිංචි විය හැකි අතර දේශන වලට අන්තර් ජාලයෙන් සම්බන්ධවී එහි විහාගයට ඉදිරිපත් වන්නට හැකියාව ඇත. එය විශාල විප්ලවයක ඇරඹුමයි. මෙම නූතන අධ්‍යාපන රටාවට අනුව විශ්ව විද්‍යාලයේ ඉඩ ප‍්‍රමාණය අනුව බදවා ගන්නා සිසු සිසුවියන් ප‍්‍රමාණය සීමා නොවේ. විශ්ව විද්‍යාලයක තිබුණ භෞතික සිමාව ඉක්මවා ලොව පුරා වෙසෙන සුදුසුකම් ඇති දරුවන්ට ඉඩ විවර කරන ලෙස එහි පද්ධතිය පුළුල් කරන්නට තොරතුරු තාක්ෂණය ඉවහල් වී ඇත.
අන්තර් ජාලයෙන් අධ්‍යාපනය ලැබීමට ඇති අවස්ථාව ප‍්‍රයෝජනයට ගැනීමට සුදුසු පරිසරයක් රට තුළ ඇතිවිම අවශ්‍යතාවයකි. එවැනි විවෘතවීමක් සමග මතුවිය හැකි අභියෝග ගැන ද වර්තමානයේ සංවාදයක් ඇතිවී තිබේ. ලෝකයේ ප‍්‍රධාන විහ්ව විද්‍යාල වල උපාධිය අන්තර් ජාලයෙන් නොමිලේ හෝ සුළු ගාස්තුවක් ගෙවා ලබාගත හැකි තැනකට අවතීර්ණවන විට උපාධිය හෝ එයටත් ඉහළට ඉගෙනගෙන සහතික ඇති පිරිස අති විශාල අන්දමින් වර්ධනය වන්නට ඉඩ තිබේ. අධ්‍යාපනයේ සුදුසුකම් ඇති පිරිස වැඩිවන විට එයට ඇති ඉහළ පිළිගැනීම ප‍්‍රශ්නයක් විය හැකිය. අනෙක් අතට අවස්ථාව බහුල වන විට ඉගෙන ගැනීමට ඇති තරගය අඩුවී උනන්දුව ද අවම විය හැකිය. ඕනෑම අවස්ථාවක පහසුවෙන් ලියා පදිංචි වී උසස් අධ්‍යාපනය ලැබිය හැකි නම් එයට අවශ්‍ය වන්නේ උවමනාව වනා අනෙකක් නොවේ. නීති පනවා ඉගෙන ගන්නට ඇති පෙළඹවීම අනවශ්‍යවන නුදුරු දිනයක ඉහළට ඉගෙන ගන්නට ඇති කැමැත්ත ද අඩු විය හැකිය. එය තවත් අ`දුරු පැත්තකි. අන්තර් ජාලයෙන් නොමිලේ අධ්‍යාපනය සැපයෙන විට එයට කැමැත්තෙන් එකතුවන පිරිස හා සමානව අධ්‍යාපනය ඉහළටම ඉගෙනීමට ස්ව උනන්දුවක් ඇති නොවන සමාජ ද බිහිවනු නියතය.
විනයානුකූල රාමුවක් අනුව ඉගෙනගැනිම හා එයට ස්වයං කැපවීම යන්න අනාගත අධ්‍යාපනයේ අවශ්‍යතාවයකි. තවත් සලකා බැලිය යුතු පැත්තක් තිබේ. අන්තර් ජාලය ඔස්සේ දැනුම ප‍්‍රවාහයක් සේ ගලා යන විට අවුරුදු කීයක් ඉගෙන ගෙන කොතරම් විභාග සමත්වී ඇත් ද යන තක්සේරුව පරයා කොතරම් දැනුමකින් සන්නද්ධ ද යන ගිනිය හැකි මිනුම් ඒකකයක් නුදුරු වකවානුවක දී සමාජයට ඉදිරිපත්වනු ඇතැයි සිතිය හැකිය. දැනුම පදනම කරගත් අධ්‍යාපන ක‍්‍රමයට ජාත්‍යන්තරය ඇතුළු වන වකවානුවක එයට එකගව මුහුණ දෙන්නට අවශ්‍ය ධෛර්යය හා අවශ්‍ය සම්පත් සම්බන්ධව තක්සේරුවකට ගමන් කිරීම අද අපට ඇති පුළුල් වගකීමකි. ඉදිරි කාලයේ දී කුුඩා දරුවාගේ සිට දෙමව්පියන් දක්වා ආකල්ප වෙනසක් ඇති කරගත යුතු වනු ඇත.

Advertisements