Image2013.04.24- ලංකාදීප- මිලින්ද මොරගොඩ

නිදහස දිනාගැනීම එකකි. නිදහස්වන්නේ පවත්වාගෙන ගිය බැඳීම් වලින්ය. බැඳීම් වලින් නිදහස් වූ පමණින් අපේක්ෂා කළ නිදහස පහල වන්නේ නැත. ජන සමාජය ප‍්‍රාර්ථනා කරන නිදහස් ස්වෛරී යුගය උදා කර ගත යුතු එකකි. බැඳීම් වලින් ඈත් වූ පමණින් නිදහසින් උද්දාමයට පත්වීම හැබෑවක් නොවේ. ගමන තවත් දුර බැහැරය. නිදහස ලබා ගෙන දශක හයහමාරක් ගතව ඇති අප සමාජය අද අත්විඳින්නේ අපේක්ෂා කළ නිදහස් සමාජයේ ප‍්‍රබෝධයද?

ජාත්‍යන්තර සමාජයේ රටක නිදහස ගැන එයට සමාන්තර අලූත් මතයක් ගොඩනැගී තිබේ. පැවැති පාලනයෙන් නිදහස්කර ඉරාකයට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කළේය. ඇමරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල්කරන ලද යුද්ධයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කරන ලද නමුදු ඉරාක වැසියන්ට නිදහස ලෙස වෙනසක් දැනෙන්නට පටන් ගෙන නැත. ජාති සහ ආගම් අතර ගැටුම් ඇරඹී ඇත. මුල් අරමුණ එය නොවේ. අරාබි වසන්තය ඊජිප්තුවෙන් පැන නැගිණ. පාලකයන්ගේ ක‍්‍රමයට එරෙහිව මතවාද ඇවිලිණ. මැද පන්තියේ ජනතාව ට්විටර් හා බ්ලොග් වැනි තාක්ෂණික සංවාද මගින් ජනතාව අවුලූවා පාරට බස්සවන්නට සමත් විය. පවතින පීඩනයෙන් මිදී අලූත් නිදහස් ක‍්‍රමයක් ඇතිකර ගැනීම මෙම මත ඇවිලවූ මධ්‍යම පාන්තික පිරිසගේ උවමනාව වී තිබුණි. පැවැති පාලනය ඉවත්කර ඡුන්දයෙන් බලයට පත්ව ඇති නායකයන්ගෙන් එරට වැසියන් අපේක්ෂා කළ නිදහස අද ලැබී නැත. යටත්ව සිටි ග‍්‍රහණයෙන් මිදීම එක අවස්ථාවකි. දෙවනුව අපේක්ෂා කරන නිදහස සොයා යා යුතුය. සාමාන්‍යයෙන් සමාජය තුළ යටත්ව සිටි බලවේග වලින් නිදහස ලැබීම උවමනාව සේ සලකයි. එය උදාකරගැනීමෙන් ඉනික්බිතිව අපේක්ෂා කරන නිදහස තහුවරුකර ගැනීමේ ක‍්‍රියාදාමය අරඹන්නේ නැත. එය  ඕනෑම සමාජයක දැකියහැකි  දුර්වල පැත්තකි.

හතලිස් අටේ දී ශ‍්‍රී ලංකාව යටත් විජිත පාලනයෙන් නිදහස අත් පත් කර ගත්තේය. එය නිදහස් සංකේතයයි. විජාතිකයන්ට වහල්ව සිටි ලාංකිකයන් නිදහස ලැබූ පමණින් මනසින් නිවහල්ව නැත. නිවහල් බව සොයා යන මාවත ඉතා සංකීර්ණ කටු කොහොල් බහුල එකකි. එහි එක් පියවරක දී ත‍්‍රස්තවාදය නැගී ආ බව අමතක කළ යුතු නැත. ත‍්‍රස්තවාදය රට ග‍්‍රහණය කර, ජනතාවගේ සිතුම් පැතුම් බරපතල අන්දමට පාලනය කරන්නට පටන් ගත්තේය. ජන ජීවිතය යළිත් කොටුවූයේ පාලකයන්ගේ නීති රාමුවකටය. යුද මෙහෙයුමකින් රටවැසියන් ත‍්‍රස්තවාදයෙන් නිදහස් කරගන්නට සමත් විය. ත‍්‍රස්තවාදයෙන් මුදා ගත් පමණින් ජනතාවට නිදහසක් ලැබී තිබේද? සිතුම් පැතුම් හා එදිනෙදා ජීවිතයේ යම් පරිවර්තනයක ලකුණු පෙනෙන නමුත් සමාජය සම්පූර්ණයෙන් නිදහස් වී නැත.

නිදහස දැනෙන්නේ තමන් කොටු කර ඇති රාමුවේ තරම අනුවය. ඉතා කුඩා රාමුවක කොටු කර තිබුණ සමාජයක් රාමුවේ ප‍්‍රමාණය වෙනස් කර තවත් කොටසක් දක්වා එය විශාල කිරීමෙන් ඇවිදින්නට, කතාබහ කරන්නට සහ තීරණ ගන්නට වැඩි නිදහසක් ලැබේ. නමුත් පවතින රාමුව ඉවත් කිරීමක් නොවේ. ජන සමාජයේ පාලනය වෙනත් බලවේගයක් අතට පත්වීම පමණකි. යටත් විජිත ග‍්‍රහණයෙන් මිදීම නිදහස ලැබීම පමණක් වන අතර හැබෑ නිදහස උපයා ගත යුතුය. එයට යුහුසුළු නොවනවිට නොයෙක් ජාති හා ආගමික අන්තවාද බලවේග මතුවෙන්නට පටන් ගනී. නිදහස් චින්තනය ඇත්තේ තමන්ගේ ආගම, ජාතිය හෝ ගොත‍්‍රික ලක්ෂණ තුළ යැයි සිතන්නට නැඹුරුවෙයි. එය භයානක පැත්තකි. සම්ප‍්‍රදාය තුළ වෙනත් ආකාරයකට යටත්වීමක් බව පැහැදිලිය. බටහිරට හෝ ත‍්‍රස්තවාදයට යටත්ව සිටි යුගය අමිහිරි එකක් වන අතර එයින් මිදී අලූත් යුගයක අලූත් නිදහසක් අපේක්ෂා කළේ වෙනත් රාමුවක් තුළ කොටුවන්නට නොවේ. නිදහස යන යාන්ත‍්‍රණය ගැන සංවාදයක් රටට අවශ්‍යව තිබේ. නිදහස් චින්තනය, නිදහස්ව තීරණ ගැනීම නිදහස්ව කි‍්‍රයාකිරීම තවත් කෙනෙකුගේ බලහත්කාර මතයකට හෝ අණකට යටත්වීම නිවැරදි එකක් නොවේ. නිවහල් විය යුතු අණ පණත් වලින් නොවේ තම හද පත්ලෙන්ම නැගෙන සිතිවිලි වලින්ය. නිදහස් සිතිවිලි සිතනා දැයක් උදාරයි යනු එයයි.

Advertisements