Image2013.04.10- ලංකාදීප – මිලින්ද මොරගොඩ

සිංහල සහ දෙමල අලූත් අවුරුද්දට දින ගණන් කරමින් සිටින වකවානුවකි. සතුට පී‍්‍රතිය පැතිරෙමින් තිබේ. ජීවිතය බලාපොරොත්තු වලින් පිරුණ එකක් බව දැනෙන්ට පටන්ගෙන ඇති බව නිසැකය. සියළු දෙනාගේ බලාපොරොත්තුව අභිවෘද්ධියයි. අලූත් අවුරුද්ද බලාපොරොත්තු අලූත් කරගැනීමේ සංකේතයකි. සිංහල සංස්කෘතිය හා කෘෂි නැඹුරුව අනුව උදා වී ඇත්තේ  බක් හෙවත් භාග්‍යවන්ත මාසයයි. සූර්ය සංක‍්‍රාන්තිය අනුව අලූත් අවුරුද්ද උදාවන බව ජොතිෂ්‍යට අනුව සැලකෙයි. පැරණි සමාජයේ දී අස්වනු නෙලාගැනීමෙන් ඉනික්බිතිව නැවත ගොවි බිම් අස්වද්දා ලැබෙන විවේකයේ දී ගහ කොළ හා බැඳුණු වතාවත් සමග අලූත් අවුරුද්ද සමරති.

යටත් විජිත යුගයේ දී බටහිර චාරිත‍්‍ර වාරිත‍්‍ර අවුරුද්ද හා මුහු විය. එය තවත් පරිවර්තනය වී වැඩ කරන ප‍්‍රජාවක් බිහිව තිබේ. කම්හලේ ගොවිපොලේ වැඩකරන ජනතාව වෙනුවට අද වැඩ කරන්නේ පිටරටකය. විදේශ ගතව මහන්සියෙන් වැඩ කරන අඹු දරු නෑ හිතවතුන්ගෙන් ඈත්ව සිටින අතර පවුලේ සෙසු පිරිස අවුරුදු සමරති. අවුරුදු සමරන අස්වැන්න සේ සැලකිය හැකි ධනය රටට ලැබෙන්නේ පිටරටින්ය.

තේ රබර් පොල් යන කෘෂි භෝග රටේ විදේශ ආදායම අපයන පළමු තැන සේ සැලකූ කාලය අවසන්ය. දැන් රටට වැඩිම විනිමය ප‍්‍රමාණයක් එන්නේ විදේශගත ශ‍්‍රී ලාංකිකයන්ගෙනි. එම ධනය මෙම වසරේ දී නම් ඇමරිකානු ඩොලර් බිලියන 6.5 ක් පමණ වනු ඇත. ඇඟලූම් අපනයනයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 5 ක් උපයන නමුත් කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍ය හා යන්ත‍්‍ර සූත‍්‍ර වෙනුවෙන් ආපසු රටින් එපිටට යන ධනය ඇමරිකානු ඩොලර් බිලියන 3 කට ආසන්නය. ඉතිරි වන්නේ ඇමරිකානු ඩොලර් බිලියන දෙකකි. තේ කර්මාන්තයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 1.4 ක් පමණ අවුරුද්දකට උපයන අතර අලූතෙන් දියුණු වන සංචාරක කර්මාන්තයෙන් ලැබෙන ආදායම ද ඇමරිකානු ඩොලර් බිලියන 1.2 ප‍්‍රමාණයක් බව පෙනේ. ශ‍්‍රී ලංකාවේ ආර්ථිකයේ පදනම මැද පෙරදිග ඇතුළු රටවල වැඩ කරන ලක්ෂ සංඛ්‍යාත ජන කොටස උපයන දෙය බව අවබෝධ කර ගත යුතු යථාර්ථයයි.

පිටරට වල වැඩකරන ලාංකීයයන් ගේ වෘත්තීය ජීවිතය සුබදායක එකක් නොවේ. වෘත්තීය ගැටලූ ඇති තරම් තිබේ. දරු පවුලෙන් ඈත්ව හුදෙකලාව ගත කරන කාලය වේදනාබරය. විදේශ රැකියාවක් සොයායන්නට විශාල වශයෙන් ණය වූ පිරිසක් ද වෙති. සමස්ථයක් වශයෙන් මෙම පිරිස උපයන ධනය ඉතිරි කරන්නට කරන කැපවීම තක්සේරු කළ නොහැකි තරමට සංකිර්ණය. මෙරට ජනගහනයෙන් දහයෙන් එකක පමණ කොටසක් රටට විදේශගතව රුකියාවල යෙදෙමින්, ධනය උපයන විශිෂ්ට පරිත්‍යාගයෙහි නිරත බව අවබෝධ කරගැනීම වැදගත්ය.

වානිජ බැංකු, ගාහ විදුලි උපකරණ අළෙවි කරන සමාගම්, දේපොල වෙළඳාමෙහි නිරත අතරමැදියන්, රක්ෂණ තැරුව්කරුවන් ඇතුළු නොයෙකුත් දෙනා නොයෙක් ප‍්‍රචාරක උපක‍්‍රම පතුරවමින් උත්සාහ කරන්නේ මෙරටට ඇදී එන විදේශ ආදායමෙන් තමන්ගේ පංගුව දිනාගන්නටය. වානිජ ක‍්‍රමය තුළ පවතින තරගය පැතිරෙන ආකාරය අනුව එයට වඩා වෙනස් ප‍්‍රතිඵලයක් අපේක්ෂා කළ යුතු නැත. නමුත් ඔවුන්ගේ දරු පවුලටත්, රටටත් සමෘද්ධිය යන අවසාන අරමුණින් ඈත්වීමට ඉඩ දිය යුතු නැත.

විදේශගත ලාංකිකයන් මහන්සියෙන් උපයන ධනය රටට ඉසුරු සදන අතර අවුරුද්ද පුරා අවුරුදු ඇති කරන ආදායම් මාර්ගයක් බව බැලූ බැල්මට පෙනේ. මෙම ඉසුරුමත් අවුරුදු සතුටින් පමණක් රටක අනාගතය උදා වනනේ නැත. එතෙරින් උපයා එවන ධනයෙන් කොටසක් වියදම් කරන අතර මතු දියුණුවට ඇතිවන ආකාරයට එයින් කොටසක් යළි ආයෝජනය කරන්නේ කෙසේ ද යන වැදගත් පණිවුඩය සමාජය තුළ තහවුරු කරන වැඩ පිළිවෙලක් අවශ්‍යය. තමන්ගේ පවුලේ සාමාජිකයා හෝ සාමාජිකාව පිටරටක වෙහෙසී දුක් මහන්සියෙන් උපයන ධනයෙන් පවුලට උපරිම ප‍්‍රයෝජනය ගන්නේ කෙසේ දැයි සොයා බලා අවධානයෙන් වැඩ කටයුතු කිරීම ස්ථාවර සමෘද්ධිය ළඟා කර ගැනීමට ඇති එකම මග බව අවුරුදු සිරිය මැද මනාව තේරුම් ගැනීම වැදගත්ය.

 

Advertisements