Image 

 

2012.03.27 – මිලින්ද මොරගොඩ

දරුවන් ගේ කෞෂල්‍ය හැඳින අනුරුපවන පරිදි ඉගැන්වීමේ සුවිශෙෂ අධ්‍යාපන රටාවකට මෙරට පාසල් පද්ධතිය තුළ වැඩි ඉඩක් නැත. වෛද්‍යවරයෙකු හෝ ඉංජිනේරුවෙකු කිරීම දරුවන්ගේ අනාගතය සම්බන්ධව දෙමව්පියන් ගේ සිහිනයයි. රජයේ රුකියාවක් ලබා ගැනීම උසස් අධ්‍යාපනය අවසන් කිරීමෙන් පසු, බහුතරයක ඇති අපේක්ෂාව බව පෙනේ. අනාගත වෘත්තිය ගැන සමීක්ෂණයක් කළහොත් ව්‍යවසායකයෙකුව තමන්ම දෙයක් නිපදවන බව කියන පාසල් දරුවන් විරලය.

තම දරුවන් තමන්ට වඩා ඉහළ සමාජ ආර්ථික වටපිටාවක ජීවත්වනු කැමති දෙමව්පියන් එම ඉලක්කය ජය ගන්නට විශාල උත්සාහයක නිරතවන බව අවබෝධ කර ගත හැකිය. තමන් වැඩකරන ගොවිපොලෙන් සහ කම්හලෙන් දරුවන් ඉවත් කර ලස්සනට කාර්යාලයක සේවය කරන තත්ත්වයට යොමු කරන ආකල්පය වැඩි දෙනෙකු තුළ ඇත. එය සේවා ආර්ථිකයට යොමුවීමකි. නමුත් ගොවිපොල සහ කර්මාන්ත ශාලාව ගැන නොසිතන සමාජය තුළ නිෂ්පාදනය සීමිත එකකි. කෘෂි සහ කාර්මික නිෂ්පාදනය සීමාසහිත වන විට රටටත් සමාජයටත් ගැටලූ මතුවිය හැකිය. ගොවියාගේ පුතු ගොවියා ම හෝ ධීවරයාගේ දරුවා මසුන් ඇල්ලීමෙන් ම ජීවත් විය යුතු යැයි නියමයක් නැත. සමාජය දියුණු වන විට එවැනි සම්මත විනාශ කරන්නට අධ්‍යාපන ක‍්‍රමයට මනා ලෙස දායක විය හැකිය.

පවතින අධ්‍යාපන ක‍්‍රමයෙන් දරුවන් ගොවිපොලට, ධීවර කර්මාන්තයට හෝ කම්හලට යොමු නොවන පසුබිමක එයට අනුරූපව අධ්‍යාපන ක‍්‍රමය පරිවර්තනය වීම අවශ්‍යය. ගොවිපොලෙන්, ධීවර කර්මාන්තයෙන් හෝ කම්හලේ වැඩ බිමෙන් උසස් අධ්‍යාපනයට දරුවන් තෝරා ගන්නා වැඩපිළිවෙලක් අවශ්‍යය. පාසලේ කෘෂිකර්ම පන්තියට සහභාගීවන නමුත් නිවසේ දී එයට ඇල්මක් නැති දරුවා කුසලතාවය දක්වන තැනට යොමු කරන අතර ගොවිබිම ගැන හැබෑ ඇල්මකින් වෙහෙසෙන දරුවන් තෝරාගෙන ඔවුන්ට ගොවිතැන ගැන උසස් අධ්‍යාපනය ලබා දී තාක්ෂණික ගොවිතැනට හුරු කරන අධ්‍යාපන ක‍්‍රමයක් රටට අවශ්‍යය. තේ දළු නෙලන, කුඹුරේ වැඩ කරන දරුවන් විශ්ව විද්‍යාල අධ්‍යාපනයට ලකුණු ප‍්‍රමාණවත් නොවූ නමුත් නිෂ්පාදනයේ දී හපනුන්ය. ඔවුන් තෝරාගෙන ඔවුන්ම යෙදෙන කර්මාන්තය අලලා වැඩිදුර දැනුමට යොමු කිරීම අවශ්‍යතාවයකි. ලෝකයේ දියුණු රටවල එය සිදුවෙමින් පවතී. ධීවර කර්මාන්තයේ නිරත තරුණන්ට එහි නූතන තාක්ෂණය ඉගැන්වීම අද සිදුවෙයි. සම්ප‍්‍රදායික තත්ත්වයට වඩා ඵලදායී හා ලාභදායී ආකාරයට මසුන් ඇල්ලීමට අලූත් පරපුර එයින් සමත්ව ඇත. ජාත්‍යන්තරව ප‍්‍රකට විශ්ව විද්‍යාල කෘෂිකාර්මික උපාධිය සඳහා තෝරා ගන්නේ ගොවිපොලේ වැඩකරන ගොවියන්ය. මූලික දැනුම ඇති ගොවියන් වැඩිදුර අධ්‍යාපනයෙන් පසු ගොවිබිම තුළ පර්යේෂණ කරන්නට පටන් ගනී. එයින් නිපැයුම වැඩිවෙයි. ගොවිතැනට සමාජය තුළ ඇති පිළිගැනීම තවත් ඉහළ නගී. පාසල් අධ්‍යාපනය මගින් වෘත්තීය ගොවියන් හා ධීවරයන් බිහිකරන්නට නොහැකි පසුබිමක් තුළ එහි නියැලි, එයටම ඇල්ම ඇති පිරිස ට දැනුම දෙන අධ්‍යාපන භාවිතාවක් රටට අවශ්‍යව ඇත.

එය කළ හැක්කේ වෙනසකින් පමණකි. විශ්ව විද්‍යාල ඇතුළු උසස් අධ්‍යාපන ආයතන තම සම්පත් වලින් යම් කොටසක් ප‍්‍රායෝගිකව යම් යම් ක්ෂේත‍්‍රවල නිරත දරුවන්ට දැනුම සපයන ආකාරයට හැරවිය යුතුය. ගොවියා හෝ ධීවරයාට ඇතුළු වෙන්නට නොහැකි තැනකින් එකී ක්ෂේත‍්‍ර ගැන ඉගෙනගෙන යළි සුපුරුදු වාත්තියෙහිම නියැලෙන විද්‍යාර්ථීන් බිහි කළ හැකි වන්නේ එවිටය. අද බහුලව සිදුවන ආකාරයට උසස්  අධ්‍යාපනයෙන් පසු උත්සාහ කරන්නේ ප‍්‍රායෝගිකව එහි නියැලෙන්නට නොව කෘෂි හෝ ධීවර කළමනාකරණයට ඇතුළු වන්නට බව පැහැදිලිව පෙනේ.

ඇල්මෙන් අකුරු ඉගෙන ගන්නා පරපුරට නිදහස් අධ්‍යාපන පහසුව නොඅඩුව සැපයිය යුතු අතරම ප‍්‍රායෝගිකව ක්ෂේත‍්‍රයෙහි නිරතව එහි ඇල්මෙන් වැඩ කරන දරුවන් සොයා ඔවුන්ට ඉහළම දැනුම හා පුහුණුව සපයන නිසි වැඩ පිළිවෙලක අවශ්‍යතාවය ද මතුව තිබේ. අද රට තුළ තිබිය යුතු වෘත්තීය ගරුත්වය හා සමාජ පිළිගැනීම ද එවැනි අධ්‍යාපන ක‍්‍රමයකින් ඇති කළ හැකිය.

Advertisements