Image2013.03.13- ලංකාදීප – මිලින්ද මොරගොඩ

දියවැඩියාව, අධික රුධිර පීඩනය, වකුගඩු අබාධ හෝ මානසික ආතතිය වැනි රෝග ලක්ෂණ හිමිකරගෙන සිටියේ යම් රටක ධනවත් සේ ගැනෙන ඉහළ ස්ථරයයි. මේවා බෝ නොවෙන රෝග ලෙස සැලකේ. මහන්සියෙන් වැඩ නොකරන නමුත් ලැබෙන ආදායමෙන් ජයට කා බී සැනසීම එම පැලැන්තියේ විපතට පදනමක් විය. නමුත් ස්වභාවය ආපසු හැරවෙමින් තිබේ. ධනය ඇති සමාජය තමන්ට සිදුවන අනතුර අවබෝධ කරගෙන ඇත. එයින් වැළකෙන්නට හැකි ආකාරයට ඔවුන්ගේ  ජීවිත සකස් කරගෙන තිබේ. අද මෙවැනි රෝග වැඩිපුර වාර්තා වන්නේ සමාජයේ අඩු ආදායමක් ලබන ජන කොටසගෙන්ය. ව්‍යායාමයෙන් සහ නිසි පැවැත්මෙන් ප‍්‍රතිශතයක් වශයෙන් යම් පමණකට මෙවැනි රෝග වලකා ගන්නට පොහොසතුන් සමත්ව ඇති අතර දුප්පතුන් ගොදුරුව ඇත්තේ කටුක ඉරණමකටය. එයට හේතුව දැනුම පතුරුවන සන්නිවේදනයේ යම් වරදක්ද?

විසි එක්වැනි සියවස අවසන් වන විට එම සියවස තුළ බිලියනයක ලෝක වාසී පිරිසකට දුම් පානය හේතුවෙන් ජිවිත අහිමි වන බව ගණන් බලා තිබේ. බෝ නොවෙන වෙනත් රෝග වලින් අහිමිවන ජීවිත ප‍්‍රමාණය එයට ඉහළ සංඛ්‍යාවක් බව නිසැකය. ලෝක ජනගහනය බිලියන හතකට මදක් වැඩිය. මෙම ඉලක්කම් පෙන්වන්නේ අප පෙලන ව්‍යවසනයක තරමයි. මෙවැනිම ප‍්‍රවනතාවයකට අනතුරුදායක අන්දමට නැඹුරු වෙමින් පවතින වග ශ‍්‍රී ලංකාවෙන් පවා නිරීක්ෂණය කළ හැකිය. පිළිකා රෝහලට ප‍්‍රතිකාර පතා පැමිණෙන පිරිස වසරක් පාසා වැඩිවෙන බව කියැවෙයි. හදවත් රෝග ප‍්‍රතිකාර පතා ලැයිස්තුගතව සිටින රෝගීන්ගේ සංඛ්‍යාව විශාල ප‍්‍රමාණයකි. වකුගඩු ආබාධ වලට ප‍්‍රතිකාර පතා කරන ආයාචනා නිතර මාධ්‍ය වලින් වාර්තාවෙයි. මෙවැනි පැති අවහිරකර නිරෝගී සමාජයක් බිහි කරන්නට මග පාදා ගැනීමේ යුතුකමක් අප සියලූ දෙනාටම තිබේ.

මත් පැන්, මත් ද්‍රව්‍ය හා දුම් පානයෙන් සිදුවන ආදිනව ගැන සමාජයට  කරුණු දක්වන අවස්ථා එමටය. නමුත් වැඩි සැලකිල්ලක් දක්වන්නේ නැත. එවැනි ඇබ්බැහිවීම් විනාශය ඇතිකරයි. සමාජයක් නිදුක් නිරෝගි කරන්නට නීති වලට පමණක් හැකියාවක් නැත. ශ‍්‍රි ලංකාවේ දුම්කොල හා මත්පැන් බදු රටට වැඩිම ආදායම උපයා දෙන බව පෙනේ. දුම්කොළ බද්දෙන් උපයන රජයේ ආදායම පමණක් අවුරුද්දකට රුපියල් බිලියන හැත්තෑවකට වැඩිය. බදු ගෙවන්නේ දුම් පානය කරන්නන්ය. එම ආදායම සංවර්ධනයටත් රටේ වියදම් වලටත් යෙදවේ. නමුත් දුක් විඳීන්නේ බදු ගෙවන්නන්මය.  ලෝකයේ නොයෙකුත් රටවල් මත් පැන්, දුම්පානය හා මත් ද්‍රව්‍ය වලට බරපතල දඬුවම් නියම කරයි. දඬුවම පෙනි පෙනී සහ තම ජීවිතය අවදානමක බව දැන දැනම මිනිසුන් එවැනි නරක පුරුදු වල නියැලීම විශාල ප‍්‍රශ්නයකි.

සමාජය දියුණු වන විට යම් ප‍්‍රමාණයකට යථාර්ථය අවබෝධ කර ගනී. එවිට නරක ඇබ්බැහි වලින් මිදෙන්නට සමාජයේ බුද්ධිවන්ත කොටසට ආත්ම ශක්තිය ලැබේ. මැතක සිට මෙරට තුළ තරුණ පරපුර ඇතැම් ඇබ්බැහිවීම් වලින් මිදෙමින් සිටී. විශේෂයෙන් දුම් පානය, මත්පැන් හා මත්ද්‍රව්‍ය පැතිරීමට එරෙහිව විශාල සමාජ මත වාද නැගෙමින් ඇත. සමාජ බලවේග වලින් පවා නොයෙකුත් ක‍්‍රියාමාර්ග ගනිමින් සිටී. ප‍්‍රචාරාත්මකව වානිජ අරමුණු සාක්ෂාත් කරගන්නට ඉඩදෙන්නේ ද නැත. කලා හා රසාස්වාද මාධ්‍යයෙන් වක‍්‍රව කරන ප‍්‍රචාරන උපක‍්‍රම වලට ද බාධා පමුණුවන පරිදි සාරධර්ම සකස් වී ඇත. එබඳු මග තිබිය දී පවා විපතින් සහ මුලින් ම මිදෙන්නට හැකියාව ලැබි නැති සෙයකි. නිසි තීරණය ගන්නට සිදුවන්නේ එවැනි දෙයට ඇබ්බැහි වී ඇති සමාජයටමය. අනර්ථය සහ ජීවිත ව්‍යසනයට ඇද දමන ඇබ්බැහිවීම් ගැන සමාජය තුළ අඛණ්ඩ විශාල ප‍්‍රතිවිරෝධයක් බලපැවැත්විය යුතුය. පාසල් වියේ සිටම දරුවන්ගේ මනසට මෙවැනි ඇබ්බැහිවීම් වල ආදීනව කියා දෙන්නට නිසි පියවර ගැනීම අවශ්‍යය. එය කළ යුතු සංවිධානාත්මකවය.

 

Advertisements