2012.11.28 – ලංකාදීප – මිලින්ද මොරගොඩ

ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය පිබිදෙන වග දත්ත පෙන්නුම් කරයි. දළ දේශීය නිෂ්පාදිතය ඉහළය. ඒක පුද්ගල ආදායම ද වැඩි ව තිබේ. ප‍්‍රශස්ත ජීවන මට්ටමකට පොදු ජනතාව ගමන් කරමින් සිටින බව එයින් අගවයි. රටක් වශයෙන් දක්වන දියුණුව සැලකිය යුතු තරම් නමුත් තවත් වටිනා දියුණුවකට මග පාදාගත හැකි බව ඵලදායීතාව සම්බන්ධ අලූත් පර්යේෂණ වාර්තා පෙන්වයි.

රටක ජාතික නිෂ්පාදනයට ඵලදායීතාව වැදගත්ය. ආසියානු කලාපයේ රටවල පුරවැසියන් ගේ ක‍්‍රියාකාරීත්වය සලකා ආසියානු ඵලදායීතා දර්ශකයක් නිර්මාණය කර තිබේ. පසුගිය වසර පනහක කාලය තුළ ඵලදායීතාවය සම්බන්ධ දත්ත එකතු කර අනාවරණය කරන ආසියානු ඵලදායීතා සංවිධානය, එමගින් වැදගත් සංසන්දනාත්මක තොරතුරු ඉදිරිපත් කරයි. එයට අනුව මැලේසියානු වැසියෙකුගේ දිනක ඵලදායීතාව ඇමරිකානු ඩොලර් 15 ක් බව දක්වයි. සිංගප්පූරුවේ දෛනික ඵලදායීතාවය ඇමරිකානු ඩොලර් 14.2 කි. දකුණු කොරියාවේ එය ඇමරිකානු ඩොලර් 26.3 ක් වන අතර ශ‍්‍රී ලංකාවේ ඵලදායීතාවය අඩුය. එය ඇමරිකානු ඩොලර් 6-7 අතර අගයක් බව දර්ශකය පෙන්වයි.

කෘෂිකර්මයෙහි සහ සේවා අංශයෙහි නියැලි රටවලට වඩා කාර්මික රටවල පුරවැසියන්ගේ ඵලදායීත්වය වැඩි බව පෙනේ. මෙම දර්ශකයට අනුව ඉන්දියාව හා චීනය දක්වන්නේ ද අඩු ඵලදායීතාවයකි. එකම කාර්යය කරන්නට දෙතැනකදී ගන්නා මග වඩාත් කාර්යක්ෂම වන ආකාරය අනුව ඵලදායීතා දර්ශකය සැකසෙයි. එහි අගය අඩුවන විට රටට කරන දෛනික නිෂ්පාදනයේ වටිනාකම සාපේක්ෂව අඩු ප‍්‍රමාණයක් දක්වා පහතට වැටේ. තරගකාරී ආර්ථික රාමුවක දී එය ප‍්‍රශ්නයකි. මෙම ඵලදායීතා දර්ශකය විග‍්‍රහ කරන විද්‍යාර්ථීහු මෙරට කෘෂිකර්මයෙහි ඵලදායීතාව සාමාන්‍යයෙන් අඩු මට්ටමක පවතින බව දක්වයි. කෘෂිකර්මයේ ඵලදායීතාව ඇමරිකානු ඩොලර් 2-3 අතර ප‍්‍රමාණයකි.

ඉතිහාසය දෙස ආපසු හැරී බලන විට දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් වශයෙන්  කෘෂිකාර්මික අංශයේ දායකත්වය 1974 දී සියයට 33.16 කි. 2010 වන විට එය සියයට 14 දක්වා අඩුවී තිබේ. එයට සාපේක්ෂව කාර්මික හා සේවා අංශ වල දායකත්වය වර්ධනය වී ඇත. එවැනි පර්වර්තනයක් සිදුවන්නේ කෘෂිකර්මය පිරිහීම සමගය. රටවැසියන් ගොවිතැනින් ඉවත්ව අන් ක්ෂේත‍්‍රවලට යොමුවන්නේ එයින් ලැබෙන ආදායම අඩු හෙයින් බව වටහා ගැනීම අපහසු නැත. ඉඩම බෙදී එහි වගා කරන්නට වියදම වැඩිවන විට ලැබෙන ආදායම ජීවත්වන්නට ප‍්‍රමාණවත් නැත. ඵලදායී ආකාරයට කෘෂිකාර්මික කටයුතු හැරවිය හැකි නම් එතැනදී වාසියක් සිදුවෙයි. ගොවිතැනින් යමක් උපයන්නට නොහැකිවන තැන එයින් යැපෙන පිරිසගේ ජීවන මට්ටම දිනෙන් දින පහතට වැටෙයි. එහි නිරත පිරිසට ලැබෙන ආදායම සීමාසහිත වන විට ඔවුන් රටට එකතු කරන දළ දේශීය නිෂ්පාදිතයෙහි වටිනාකම ද පහල එකකි. එය දියුණුවට බාධාවක් බව පෙනේ.

අන්තර් ජාතිකව පවතින තියුණු තරගය දෙස බලන විට සාර්ථකව නැගෙන්නට නම් කාර්යක්ෂමතාව හා ඵලදායීතාව ගැන අලූතෙන් සිතන්නට අවශ්‍යය. ජාතික මට්ටමින් පමණක් නොව පාසල් දරුවන් ගේ පටන් ඵලදායීතිවය ගැන සංවාදයක් ඇති කිරීම යහපත්ය. ලෝකයේ ඉහළට නැගුන රටවල් ඵලදායීතාවය ගැන අලූත් සංකල්ප පවා ගොඩනගා ඇත. තායිලන්තය කෘෂිකර්මාන්තයෙන් ඉහළටම පැමිණි රටකි. මැලේසියාව කාර්මික අංශය ද මිශ‍්‍ර කරගෙන කෘෂිකර්මයට ඉඩක් ලබාගෙන තිබේ. දකුණු කොරියාව කාර්මික හා සේවා අංශ වලින් මැත කාලය තුළ විශාල පිබිදීමක් ලබා ඇත. සමස්ථයක් වශයෙන් මෙම රටවල් කෘෂිකර්මය ද එකතු කරගෙන එම රටවල නිෂ්පාදනය ඵලදායී අන්දමට ඉහළ මට්ටමක පවත්වාගෙන ඇත්තේ කෙසේදැයි විමසා බැලීම රටට මහත් ප‍්‍රයෝජනයකි.

Advertisements