ලංකාදීප -2012.11.21 – මිලින්ද මොරගොඩ

 ශ‍්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ පසුබිම අනුව අවදානමක් ගෙන කි‍්‍රයාකරන්නට ධෛර්යයක් ඇති පිරිස සීමිතය. වැඩි කොටසකට අලූතින් යමක් කිරීම අවදානමකි. ගමන් කරන මාවතට එපිටින් ඇති දුෂ්කර මාර්ගය තෝරා ගැනීම බොහෝ දෙනෙකුට අභියෝගයකි. ජීවත්වන්නට උවමනා තරමට ආහාර පාන අහේනියක් නැති නම් පැවැත්ම වෙනස් කරන්නට වෙහෙසිය යුතු ඇයි? සම්ප‍්‍රදායික දෙයට එපිටින් ඇති අලූත් දේ ගැන අත්හදා බලන්නට යෝජනා කළ විට එවැනි ප‍්‍රශ්නයකින් පිළිතුරු ලැබෙනු ඇත. සමාජයේ හැම දෙනෙකුම නොවේ. කැක්කුමක් ඇති වෙනසක් සොයා වෙහෙසෙන විකල්ප අදහස් ඇති දෙතුන් දෙනෙකු පරිවර්තනයකට මුල පුරයි. අනෙකුන් ගේ ගැරහුම්, පරිභව සහ අවඥාව මැද නොනැවතී ඉදිරියට ගිය එවැනි මිනිසුන් ලෝකය ජනනීය තැනක් බව දක්වති.

වැව් බැන්දේ ද, දාගැබ් තැනුවේ ද ධෛර්යයක් ඇති මිනිසුන්ය. බල කොටුව සීගිරියක් කළේ සහ ගල් කුළක් අවුකන බවට හැරවූයේ ද, එතැන් දෙස වෙනස්ව දකින්නට සමත් වූ තීක්ෂණ ඇස් ඇත්තන්ය. විදේශීකයන් ඇත් දළ, මුතු මැණික් සොයන අතර මුඩු බිම දැක එහි කෝපි වවන්නට කැමැත්තක් දැක්වූයේ විකල්ප අදහස් අනුවය. වසංගතයකින් කෝපි වගාව බරපතල ලෙස විනාශවන අතර වැවිලිකරුවන් අතරින් ඇතැමෙකු දුර්මුඛ වූයේ නැත. තේ වගාව ඇරඹූහ. පසුව රබර් වගා කරන්නට පටන් ගත්තේය. අර්තාපල් වගා කරන්නට හැකි බව ඔප්පු කළේ ද එවැනි දිරිය ඇති මිනිසෙකි. ඇ`ගලූම් කම්හල් ඇති කළේ, තොරතුරු තාක්ෂණයට යා යුතු බව තීරණය කළේ මෑත කාලයේ වෙනස් ආකාරයට හිතන්නට සමත්වූවන්ය. ගමන මුල අවඥා කරන්නට ඇත. නොසැලකිල්ලටත්, ගැරහීමටත් ලක්වන්නට ඇතිවා නිසැකය. කිසිදින, කිසිවෙකුත් නොදන්නා සිතක පහල වූ සිතිවිල්ලක අවසන් ප‍්‍රතිඵලය අත්පත්ව ඇත්තේ වර්තමානයටය.

සම්ප‍්‍රදායට අභියෝග කරමින් ජාත්‍යන්තරය වේගයෙන් වෙනස් වෙමින් තිබේ. තාක්ෂණ යුගයකි. ශ‍්‍රී ලංකාව තාක්ෂණ හා සේවා ආර්ථිකයේ දී විශාල වෙනස්කම් පෙන්වන ලද නමුත් කෘෂිකර්මයේ දී පෙරුළියක නැත. තේ, රබර් සහ පොල් ඇතුළු බෝග වගාව සමග සුපුරුදු රටාවෙහි නිමග්නය. රට තුළ ඇති විශාල ඉඩම් ප‍්‍රමාණය නිසි කළමනාකරණයකට ලක් කළ හැකිය. අලූත් බව භෝග වලට තැනක් තිබේ. රටට අනන්‍ය අල වර්ග, පලතුරු සහ ධාන්‍ය වර්ග රැසක් වගා නොකිරීම හමුවේ අභාවයට පත්වීමේ තර්ජනයකට ලක්ව තිබේ. කාර්ය බහුල සමාජයකට ගොවිතැන ආදායමක් නැති එකකි. නමුත් අනාගතය හමුවේ කෘෂිකර්මයට ඇති තැන යළිත් නැගෙමින් තිබෙන බව ජගත් පර්යේෂකයන් ගේ මතයයි. අනාගතයට මුහුණ දෙන්නට නම් අද අවදානමක් ගැනීමට හැකි පරපුරක් රටට අවශ්‍යය. තරුණන් ආකල්ප වෙනස්කළ යුතු අතර පරිගනකය ද ගෙන ගොවිපොලට යා හැකි බව හිතන්නට පටන් ගැනීම වැදගත්ය.

ඇතැමෙකුට රටට ආගන්තුක අලූත් දෙයක් වගා කරන්නට යාම අවදානමකි. රටින් වඳවී යන පලතුරක් හෝ බෝග වගාවක් වගා කර වෙළඳ පොළට ඉදිරිපත් කිරීම ද එවැනිය. ඉල්ලූමක් නැති, එලවලූ හෝ පලතුරු අලූත් ආකාරයකට පාරිභෝගිකයන් අතට පත් කිරීම ද අවදානමක් ගත හැකි තීරණයකි. මෙම අවදානමෙන් අවධානය දිනාගත හැකිය. ජන අවධානය ඇති තැනෙක වෙළඳ පොළ බිහිවෙයි. ගස් යට වැටී විනාශ වන පලතුරකින් හෝ රටට අලූතින් හඳුන්වා දිය හැකි යම් වගාවකින් කරන්නට හැකි පරිවර්තනය විශාල එකකි. එය මෙරට ආර්ථිකයට ජවය සපයනු පමණක් නොව පවතින සම්ප‍්‍රදායික ගමන අලූත් මාවතකට යොමු කරන්නක් බව ද සඳහන් කිරීම වටී. එවැනි තීරණයක් ගන්නට කිසිවෙකු උදවු කරන්නේ නැත. ආණ්ඩුවක් හෝ වෙනත් ආයතනයක දිරි ගැන්වීම අපේක්ෂා කළ යුතු නැත. සමාජය උපහාසයෙන් බලනු ඇත. කරන්නට බැරි වැඩ කරන්නට තතනන කෙනෙකු යැයි නොසලකනු නියතය. එහෙත් සාර්ථක වන එක දෙයකින් එය ඉතිහාසයේ සන්ධිස්ථානයක් වන බව නම් ස්ථිරය.

Advertisements