2012.09.27 – ලංකාදීප – මිලින්ද මොරගොඩ

 

බලශක්තිය ජන ජීවිතයට අවශ්‍යම දෙයකි. වියලි ලී කැබලි දෙකක් ඇතිල්ලීමෙන් හෝ ගල් කැබලි ගැටීමෙන් ගින්දර අවුලවාගත් යුගය පසුකර බොහෝ දුර පැමිණ තිබේ. එහි නතර වීමක් නැත. තව තවත් අලූත් සොයාගැනීම් සමග අනාගතය අතිශය සංකීර්ණ වෙමින් තිබේ. තරගකාරීව එයට අනුගත නොවන තැතක පැවැත්මක් නැත. ලෝක ධර්මතාවය එයයි.

බලශක්ති විප්ලවය මෝටර් රථ වාහන අංශයෙහි මැනවින් පෙනේ. විදුලිය හා ඉන්ධන මිශ‍්‍රව භාවිතා කර ධාවනය වන රථ නිෂ්පාදනය කර වැඩි කලක් නැත. විදුලියෙන් පමණක් දිවෙන වාහන නිපදවා තිබේ. මෙයින් එක කොටසක් ජවය සපයා ගන්නේ හිරු එළියෙන්ය. සූර්ය කෝෂ රථයට බලය සපයයි. තවත් කොටසක් ප‍්‍රති ආරෝපනය කළ හැකි බැටරි බලයෙන්ය. ඉදිරි වසර දහය තුළ ප‍්‍රධාන නගරවල සිතියම් සම්පූර්ණයෙන්ම වෙනස් විය හැකිය. සම්ප‍්‍රදායික ඉන්ධන අළෙවි සැල් නැත. වාහන සේවා ස්ථාන ද දකින්නට නොහැකි වනු ඇත. ඝෝෂාකාරී වාහන ශබ්ධ බෙහෙවින් අඩුවිය හැකිය. ඉන්ධන පිරවුම් හල් වෙනුවට නගරය පුරා තැනින් තැන වාහන බැටරි යළි ආරෝපණය කරන තැන් ඇත. වාහන නැවතුම් පොලවල බැටරි ආරෝපණය කරන මෙවලම් තිබේ. ගරාජය, සම්ප‍්‍රදායික ව්‍යාපාරයක් වශයෙන් අසාර්ථක විය හැකිය. අලූත් දැනුම මත පමණක් මෝටර් රථ කාර්මිකයන් සාර්ථකත්වයට පත්වනු ඇත. එවැනි වෙනසකට ගැලපෙන පරිදි මාර්ග නීතිය අලූත් වෙයි. වාහන අනතුරක ප‍්‍රතිඵල අදට වඩා වෙනස් එකකි. රක්ෂණ ක‍්‍රම අලූතෙන් එකතු විය හැකිය. මෙය මිහිතලය මත බල ශක්තිය සම්බන්ධයෙන් සිදුවිය හැකි පරිවර්තනයෙන් අංශුමාත‍්‍රයක් පමණකි.

ශ‍්‍රි ලංකාව ද මෙම යථාර්තයට මුහුණ දෙන්නට සිදුවෙයි. දැවි තෙල් හෝ ඞීසල් භාවිතා කරමින් ඉන්ධන නිපදවා විදුලියෙන් ධාවනය කරන වාහන ආරෝපනය කිරීම ඵලදායකත්වයක් නැත. විකල්ප බලශක්ති උත්පාදක ක‍්‍රම මගින් විදුලිය බිල අඩු කිරීමට දැන් තබා සැලසුම් සකස් කිරීම ඉදිරි දශකයට මුහුණ දීමේ දී සාර්ථකත්වයට බෙහෙවින් හේතු වෙයි. ඉන්ධන ලීටරයකින් සැතපුමකට දෙකකට වඩා ගමන් කළ නොහැකි සුපිරි වාහන භාවිතය ගැන ද දෙවරක් සිතන්නට සිදුවෙයි. තවත් දශකයකින් කිසිම වටිනාකමක් නැති වන ලකුණු පෙනෙන ඉන්ධන අධිකව භාවිතා කරන වාහන තව තවත් ගෙන්වීම නිරර්ථකය. විදුලි හා ඉන්ධන පරිභෝජනය අඩු ද්විත්ව බල වාහන රට තුළට ගෙන එන්නට ඉඩ දිය යුතුය. මගී ප‍්‍රවාහන බස්රථ, දුම්රිය හා භාණ්ඩ ප‍්‍ර‍්‍රවාහන ලොරි පවා තාක්ෂණයෙන් වෙනස් ව නිපදවෙයි. අන්තර් ජාතික ලක්ෂණ රටට ඇතුළු වන පරිදි ආර්ථික ප‍්‍රතිපත්ති වෙනස් කිරීම වටී.

ආණ්ඩුවට පමණක් මෙම පරිවර්තනයට මුහුණ දිය නොහැකිය. ඉන්ධන අලෙවියේ යෙදෙන, වාහන සේවා කරන ව්‍යවසායකයන්ගේ සිට විදුලිය නිපදවන සමාගම් දක්වා එයට එකතු විය යුතුය. රාජ්‍ය හා පෞද්ගලික අංශය එකතු වී ඉදිරි අභියෝගයට මුහුණ දෙන ඒකාබද්ධ සමාජ දර්ශනයක් ඉදිරිපත් කිරීම අවශ්‍යය. තරගකාරීව අනාගතයට මුහුණ දෙන්නට හැකි ව්‍යවසායකත්ව පරිසරයක් රට තුළ බිහි කිරීම ප‍්‍රතිපත්ති සම්පාදකයන්ගේ වගකීමකි. ආයෝජකයන් ආයෝජනයට උත්සුක විය යුතු අද වෙළඳ පොලට නොව තවත් අවුරුදු දහයකින් පවතින පාරිභෝගික සමාජයටය. නගර සභාවේ සිට ජාතික මට්ටම දක්වා බලශක්ති සම්පාදනය ගැන අවධානය යොමු කළ යුතුය. අද සැලසුම් සකස් කළ යුතු තවත් අවුරුදු දහයකින් ජීවත්වන පොදු ජනතාවගේ අවශ්‍යතා පරිදි ගම් දනවු යළි ගොඩනැගීමටය. අපි එයට සූදානම් ද?

Advertisements