2012.09.13 ලංකාදීප – මිලින්ද මොරගොඩ

නාලන්ද විශ්ව විද්‍යාලය ඥාන කේන්ද්‍රස්ථානයක් වශයෙන් සැලකුණ තැනකි. හය වැනි සියවසේ දී දකුණු ඉන්දියාවේ බිහාර් ප‍්‍රාන්තයේ පැවති මෙම විශ්ව විද්‍යාලය දරුවන්ට නේවාසිකව ඉගැන්වූ ලෝකයේ පළමු තැන ලෙස ද, සඳහන්ය. බෞද්ධ දර්ශනය අනුව යමින් පෙරදිග සංස්කෘතිය හා ශිෂ්ටාචාරය ගොඩනගන්නට එහි විද්‍යාර්ථීන්ගෙන් ඉටු වූ සේවාව අද ද මහත් සේ ඇගයෙයි. ආක‍්‍රමණ ඉදිරියේ නාලන්දය තෙවතාවක් විනාශ කළේය. අවස්ථා දෙකක දී එය යළි ගොඩ නැගිණ. වසර 1193 දී ඇෆ්ගන් ආක‍්‍රමණයකින් පසු විනාශ වූ පසු නාලන්දයේ දැක්ම සහ ප‍්‍රතිභාව වැයැකී ගියේය. නාලන්ද ප‍්‍රතිභාව නගා සිටුවන වෑයමක් මෑතක සිට පවතී. අන්තර් ජාතික විශ්ව විද්‍යාලයක් ලෙස යළි නාලන්දය ඇතිකරන්නට පදනම සකස් වී තිබේ.

ඉන්දීය පාර්ලිමේන්තුව නාලන්ද අන්තර් ජාතික විශ්ව විද්‍යාලය නැවත ස්ථාපිත කිරීමේ පණත සම්මත කර ඇත. පෙරදිග සමාජය එයට මහත් ආශ්වාදයකින් එකතු වන බව පෙනේ. චිනය, සිංගප්පූරුව හා ජපානය විශාල ධනයක් පරිත්‍යාග කර ඇත. දැවැන්ත බලකාමී රටවල් දෙකක් වශයෙන් ඉන්දියාව හා චීනය දෙරට අතර සහයෝගීතාවයක් ගොඩනගා ගන්නට සමත්ව ඇත. කීර්තිමත් මහාචාර්ය අමිර්ත්‍යා සෙන් නාලන්ද යළි ඉගෙනුමෙන් ඉහළම තැනක් බවට පත්කරන වෑයමෙහි පෙරමුණෙහි සිටී. නාලන්දයෙහි පුනර්ජීවනය උදෙසා ලෝකයේ නොයෙක් තැනින් ආශිර්වාදය ලැබෙමින් පවතී. අනන්‍යතාව විදහා දැක්වෙන ගෘහ නිර්මාණ කැඳවා ගැලපෙන සැලසුම අනුමත කර ඇත. බෞද්ධ දර්ශනය සහ අධ්‍යාපනයෙහි නැග්මට නාලන්දයෙන් ජනිත පිටිවහලට නැඹුරුව අධ්‍යාපන විද්‍යාවෙහි සලකුණ එහි යළි ඇතිවනු ඇත. එය ආශ්වාද ජනකය.

තායිලන්තය ‘‘ස්වර්ණභූමි’’ නමින් නාලන්ද අන්තර් ජාතින විශ්ව විද්‍යාලයේ ස්වකීය දායකත්වය ඇතිකරන පදනම තහවුරු කර තිබේ. ‘‘ශ‍්‍රී විජය’’ සිංගප්පූරුවේ අනන්‍යතාව දක්වන පදනමයි. ඉදිරියේ දී තවත් පෙර අපර රටවල් නාලන්දයේ ගමනට එකතු වනු නිසැකය.

නාලන්ද පුනර්ජීවනයේ කොටස්කරුවෙකු වීම ශ‍්‍රී ලංකාව ද වැදගත්ය. ධන ආයෝජනයට වඩා එහි දර්ශනය ගොඩනගන වෑයමට උර දිය හැකිය. බුදු දහම හා එහි සත්‍යය සොයමින් නොයෙකුත් පර්යේෂණ පැවැත්වෙන මෙම වකවානුව එහිලා විශාල මෙහෙවරක් කළ හැකිවනු ඇත. ඉන්දියාවෙන් බිහිවූ බොදු දැක්ම වර්තමානයෙහි ඇත්තේ මෙරටෙහිය. තොරතුරු තාක්ෂණය සමග එය ලෝකය පුරා පැතිරෙමින් තිබේ. ශ‍්‍රී ලංකාවෙහි අනන්‍යතාවය පිහිටුවමින් නාලන්දය ගොඩනැගීමේ සත්කාරය හමුවේ දායක වන්නට හැකි මග සොයායාම මෙරට විද්වතුන්ගේ යුතුකමයි. එහි බැහැර කළ නොහැකි වගකීමක් ද රටට තිබේ.

නාලන්ද අන්තර් ජාතික විශ්ව විද්‍යාලයට ශ‍්‍රී ලංකාවෙන් එකතු කළ හැකි ඓතිහාසික කරුණු සම්භාරයකි. ත‍්‍රිපිටකය ලේඛන ගත කිරීමේ සිට අද දක්වා පැමිණීම එක පැත්තකි. අතීතය ගවේශනය කරන්නෙකුට වැදගත්වන ආකාරයට බලංගොඩ මානවකයාගේ සිට රාවන යුගය ඔස්සේ මෙරට අනිතිම සිංහල රජ දවස දක්වා තොරතුරු එකතු කළ හැකිය. යපස්, වාරී සහ ගෘහ නිර්මාණ යනාදියෙහි ලාංකික දැක්ම එයට අතිරේකවය. මෙරට ගිහි පැවිදි වියතුන් රටට අන්තර් ජාතිකව පිළිගැනීමක් ඇති කරන නාලන්ද විශ්ව විද්‍යාලයේ ලාංකික යම් පදනමක් ඇති කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතුය.

 

Advertisements