2012.08.29 – ලංකාදීප – මිලින්ද මොරගොඩ

උගත මනා ශිල්පයමැයි මතු රැකෙනා යනුවෙන් කියැවෙනුයේ එදාය. අද ඉගෙන ගත යුතුව ඇත්තේ මතු රැකෙනා ශිල්පයයි. තරගකාරී ආර්ථික සහ සමාජ පරිසරයක් හමුවේ අධ්‍යාපන ක‍්‍රමය ද එහි දර්ශනය ද පරිවර්තනයකට ලක්ව තිබේ. වර්තමානයෙහි මෙරට අධ්‍යාපනය ගැන නොයෙක් මත නැගෙමින් තිබේ. ඉගෙන ගත යුතු අවුල් ඇති කරන්නට නොවේ. අවුල් නැති නිරවුල් සමාජයක් ඇතිකරගන්නා ආකාරය අප ඉගෙන ගත යුතුය. අධ්‍යාපනයේ අවුල් ඇති කිරීමෙන් පරදින්නේ අනාගතයයි. බලධාරීහුද, අධ්‍යාපනඥයන්ද හා දෙමව්පියන් ද අවබෝධ කර ගත යුතු වැදගත්ම කරුණ එයයි.

මේ දිනවල රජයේ විශ්ව විද්‍යාල වසා දමා ඇත. පුද්ගලික විශ්ව විද්‍යාල වලට එයින් බාධාවක් නැත. වෛද්‍ය පීඨ විවෘතය. රජයේ විශ්ව විද්‍යාලයන්හි සාමාන්‍ය උපාධි අපේක්ෂකයන් පමණක් ප‍්‍රශ්නයට මැදිව සිටී. අධ්‍යාපනය නිදහසේ ලබන්නට ඇති පසුබිම ඇතිකිරීම ගැන අන්තර් ජාතිකව විශාල සංවාදයක් ඇති යුගයක නිදහස් අධ්‍යාපන වරප‍්‍රසාද ලබන සාමාන්‍ය ස්ථරයට පමණක් බාධා ඇතිවිම වෙනත් ඇසකින් අවධානයට ලක්විය යුතුය. මුදලට ඉගෙන ගන්නා දරුවන් වෙනුවෙන් උපාධිය හා එයින් ඉහළ අධ්‍යාපනයට රට තුළ ගැටලූවක් නැත. අන්තර් ජාලය ඔස්සේ ලෝකයේ ප‍්‍රධාන විශ්ව විද්‍යාල වල ලියා පදිංචි වෙන්නට හා දේශන පිටපත් ලබා ගන්නට ද මුදල් ඇති සමාජයට හැකියාව ඇත. සාමාන්‍ය ජනතාව ගේ දරුවන් අසරණ කිරීමේ පදනම කුමක්ද? ප‍්‍රශ්න තිබෙන බව ඇත්තකි. ක‍්‍රමය සියයට සියයක් නිවැරදි රටක් නැත. ක‍්‍රමය වෙනස් කරන්නට දරන ප‍්‍රයත්නයෙන් පසුබැමට ලක්වන්නේ දුක්විදින ජනතාවගේ දරුවන්ය.

ඇති හැකි අයගේ දරුවන් පිටරට යමින් ඉගෙන ගන්නා අතර මෙරට ද සිටිමින් විශාල ධනයක් වැය කරමින් අධ්‍යාපනය හදාරයි. අන්ද්‍රා ප‍්‍රදේශ මහ ඇමතිව සිටි චන්ද්‍රබාබු නයිදු මහතා සිය ප‍්‍රාන්තයේ පෞද්ගලික විශ්ව විද්‍යාල අරඹන ප‍්‍රතිපත්ති තීන්දුව ගන්නා අවස්ථාවේ දී ද එයට විරුද්ධව පළමු වෙඩිමුරය නැගුණේ ප‍්‍රාන්ත බලධාරින්ගෙන්මය. ‘‘ඔබලාගේ දරුවන් ඉගෙන ගන්නේ කොතැනදැයි’’ නයිදු මහතා ප‍්‍රශ්න කළේය. වැඩි දෙනෙකුගේ දරුවෝ එතෙර අධ්‍යාපනය ලබමින් සිටියහ. එතෙර යන්නට හැකියාවක් නැති දුප්පත් දරුවන්ට මෙහි දී ඉගෙන ගන්නට පහසුකම සපයන විදේශ විශ්ව විද්‍යාල ඇති කිරීමට විරුද්ධවීමට ඔවුන්ට අයිතියක් නැති බව එතුමා පෙන්වා දුන්නේය.

දැන් හඬ අවදි කළ යුතු වර්තමාන සමාජයයි. තරුණ කැරළි පැවති වකවානුවේ පාසල හා විශ්ව විද්‍යාලය වසා අරගල කිරීමෙන් එක පරම්පරාවක් ලද ඛේදනීය අත්දැකීම අදට ගලපා ගැනීම වැදගත්ය. විශ්ව විද්‍යාල වසා දැමිය යුතු නැත. සටන් කළ යුතු ඉගෙන ගන්නටය. ඉගෙන ගන්නට දෙන පහසුකම් විනා උගන්වන්නට ඇති පහසුකම් ගැන සටන් කිරීමෙන් පරදින්නේ රටක අනාගතයයි. සටන් කරන්නට කාලය වැය කිරීම අපරාධයකි. අභාග්‍යයට මුහුණ දෙන්නේ තමන්ගේ පංතියයි. ආණ්ඩුව මට්ටු කරන්නට කරන වර්ජන යුක්ති සහගත වන්නේ එයින් දරුවන්ට හා සමාජයට හානියක් නොවන තරමටය. අධ්‍යාපනයේ අයිතිය දරුවන්ටය. රෝහලේ සත්කාරක සේවාව හිමි විය යුතු රෝගියාටය. බස් රියක අයිතිය ඇත්තේ මගියාටය. නමුත් අයිතිය හිමි පොදු ජනතාව අමතක කර තිබේ.

Advertisements