2012.07.25 – ලංකාදීප – මිලින්ද මොරගොඩ

ලෝක ජනගහනය වැඩි වෙමින් පවතී. සෞඛ්‍ය සහ වෛද්‍ය විද්‍යාවේ දියුණුව මිනිසුන්ගේ ජීවිතාපේක්ෂාව නංවන්නට සමත්ව ඇත. ලෝකය පුරා දිනපතා බිහිවන දරුවන් ජන සමාජයට දල්වන්නේ පී‍්‍රතියයි. නමුත් ජීවිත ජීවත් කිරීම ලෝකයේ හැම රටකටම සැලකිය යුතු ප‍්‍රශ්නයක් බවට පත්වෙමින් තිබේ. ඉඩම, ආහාර, ජලය සමාජ සුරක්ෂිතභාවය යන හැම එකකම අසමානතා වැඩෙමින් ඇති බව පෙනේ.

ඉපැදීම සතුට දනවන සමාජයක මරණය මහත් වේදනාවකි. ආගමික ශාස්තෘවරුන් දාර්ශනිකයන් මරණය සම්බන්ධයෙන් නොයෙක් ආකල්ප එක්කර ඇත. ප‍්‍රියයන්ගෙන් වෙන්වීම දරා ගැනීමට එය ඉවහල් වෙයි. ඉපැදීම, විවාහය මහත් උත්කර්ශයෙන් සමරන අතර මරණයද මහා ධනයක් වියදම් කරන සැරසිල්ලක් වෙමින් පවතින බව නොයෙක් සමාජ වලින් ලැබෙන තොරතුරු දක්වයි.

ශ‍්‍රී ලංකාවේ අප ජීවත්වන්නේ මිශ‍්‍ර ආගමික සංස්කෘතික පසුබිමකය. මරණයක දී අසල්වැසියන් ක‍්‍රියා කරන්නේ කෙසේදැයි චාරිත‍්‍ර වාරිත‍්‍ර අනුව තේරුම් ගැනීමේ හැකියාවක් අපට ඇත. ආගමික පසුබිම, පවුල් ලක්ෂණ සහ ධනය ඇති නැති ස්වභාවය අනුව පවුලේ කෙනෙකුගේ වියෝව වෙනුවෙන් හැසිරෙන ආකාරය එකිනෙකට වෙනස්ය. රටක අනන්‍යතාවය අනුව වියෝවක දී ක‍්‍රියාකළ යුතු ආකාරය නීති පනවා සම්මතයක් ඇති කිරීම නොවටී. නමුත් ජීවත්වන්නට ධනය වියදම් නොකරන ආකාරයට ජීවිතයෙන් සමුගත් දේහයක් වෙනුවෙන් අවමගුල් උත්සව පැවැත්වීම යුක්ති සහගත නැත. එය තේරුම් ගැනීම වැදගත්ය. පවුලක සාමාජිකයෙකු මරණයට පත්වූ විට ඇතිවන වේදනාව බෙදාහදා ගන්නට එකතුවන ඥාති හිතවතුන්ට ජීවිතයේ අරමුණ විනා බාහිරාලංකාර උලූප්පා පෙන්වීම නිගාවට කරුණකි.

වෛද්‍ය විද්‍යාවට අනුව ජීවයෙන් තොර සිරුර ඉක්මනින් අත්හල යුතුය. සියලූ ආගම් වල දර්ශනය පොදුය. මියගිය පසු තවදුරටත් දේහය ආරක්ෂා කිරීම පලක් නැත. ගරු කළ යුතු වන්නේ ජීවත්වූ කාලය තුළ රටට සමාජයට, දරු පවුලට ඉටු කළ සේවාව පිළිබ`දවය. වර්තමානයේ අවමගුලක දී බාහිරාලංකාරය එකී අගය කිරීමට වඩා නැගෙන අවස්ථා එමටය. මෙරට සිංහල බෞද්ධ ජනතාව එහිලා වැඩි නැඹුරුවකය. ජීවිතයේ අනියත බව සම්බන්ධව ගැඹුරු දහම ලොවට පළකරන දර්ශනය එයට අනුගත පිරිස නොසලකන බවට එය සාධකයකි. බුද්ධ ධර්මය අනුව ඉපදීම දුකකි. මරඛය ද එසේමය. දුක ඇති කරන උත්සවයක සිරි ගැනීම අප අතර සංවාදයට ලක් කළ යුතුය. මරණය අති විශාල ධනස්කන්ධයක් වැය කර දේහය සරසා, දිවා රාත‍්‍රී යන එන්නන්ට සංග‍්‍රහ කරමින් සහ නොයෙක් ප‍්‍රචාරයන්හි යෙදෙමින් ඇතැමුන් කරන දෙය වටිනාකමක් නැත. එවැනි හර සුන් අංග සමාජයට ඇතුලත්වී ඇති තරම පෙනෙන්නේ අවමංගල්‍ය අවස්ථා සංවිධානය කරමින් එයට වැය කළ හැකි ධනය අනුව නිල තත්ත්ව මවන්නට ව්‍යාපාර පවා බිහිවීමෙන්ය.

දැනුමෙන් අවබෝධයෙන් දියුණු වන සමාජයක් ස්වකීය චාරිත‍්‍ර වාරිත‍්‍ර සහ උත්සව සම්බන්ධයෙන් නිසි අවධානයක් යොමු කළ යුතුය. සමාජ සම්මතයන් සම සංස්කෘතික ලක්ෂණ වෙනස් කරන ආකාරයට ක‍්‍රියා කිරීම ඔබින්නේ දැයි ජීවත්වන්නන් තමන්ගෙන් ම ප‍්‍රශ්න කළ යුතු යුගයකි. ස්වකීය මරණයෙන් පසු දේහය උදෙසා අනුගමනය කළ යුතු සරල සහ චාම් වැඩ සටහන අන්තිම කැමැත්තෙන් ලියා ප‍්‍රසිද්ධ කර අවසන් ගමන් ගිය මෙරට පුරවැසියන් මතකයට නැගේ. ඔවුන් රටට පෙන්වන ලද දැක්ම මහත් සේ අගය කළ යුතුය. 

 

Advertisements