2012.07.04 – ලංකාදීප – මිලින්ද මොරගොඩ

බුද්ධත්වයට පත්වීමෙන් පසු බුදුරජාණන් වහන්සේ බරණැස මිගදායේ දී, දම් සක් පැවතුම් සූත‍්‍රය දේශනා කරන ලද බව සඳහන්ය. ඇසල මස පොහොය දිනකය. අරිට්ඨ කුමරු ප‍්‍රධාන ලාංකික තරුණන් පනස් හය දෙනෙකු මහණ උප සම්පදාව ලැබුවේ ද ඇසල මස පොහොය දිනයෙක බව ඉතිහාසය කියයි. බුද්ධ වර්ෂ 2260 දී කීර්ති ශ‍්‍රී රාජසිංහ රජු සියම් රටින් උපාලි මහ තෙරුන් ප‍්‍රධාන සංඝරත්නය වැඩමවා නැවත උපසම්පදාව ඇතිකර ඇත්තේ ද ඇසල මස පොහොය දිනයකය. සම්බුද්ධත්වයෙන් වසර දෙදහස් හයසියයක් ගතව ඇති තැන ශ‍්‍රී ලංකාවේ බුදු දහම හා එහි පැවැත්ම ආන්දෝලනයකට ලක්ව තිබේ.

බුදු දහම දර්ශනයකි. මැද පිළිවෙත, අටලෝ දහම එය මනුෂ්‍යයන්ට කියා දෙන පාඩමයි. ජීවත්විය යුතු හරය ගැන එහි ඉගැන්වෙයි. පෘතග්ජනයන් තුළ විනය සහ හික්මීම ඇති කරයි. බෝසතාණන් ඉපැදෙන, වැඩෙන හා බුදුවන කාලයෙහි ඉන්දියාවේ සිටි ශාස්තෘවරයන් ගණන බොහෝය. නොයෙකුත් ඇදහිලිය. විශ්වාසයන්ය. රන් කරුවෙකු තමන් අතට ලැබෙන රන් කැබැල්ල පිරිසිදු එකක් දැයි සොයන්නට කපා කොටා පුලූස්සා බලන්නා සේ ධර්මය නිවැරදි එකක් දැයි පරීක්ෂා කරන ලෙස බුදුන් වහන්සේ දේශනා කළහ. අද විද්‍යාව හා තාක්ෂණය දියුණුය. ලෝ වැසි ජනතාව බුද්ධිමත්ය. සත්‍යය සොයා ගැනීමට පර්යේෂණ කරන්නට නොයෙක් ක‍්‍රම බිහිව තිබේ. නවීන තොරතුරු තාක්ෂණ සමාජයට බුදු දහම ගැලපෙන බව එය ලොව පුරා පැතිරෙන තරමින් ප‍්‍රත්‍යක්ෂ වෙයි.

ලෝකයේ නොයෙක් වකවානුවල නොයෙක් ආගම් අර්බුද වලට මුහුණ දුන්නේය. ආගමික ධර්මතාවය අභිබවා ධනය හා බලය මතුවූ අවස්ථා ඇත. එක දිය වැලකින් නැගුණ ආගම් පසුව බෙදී, බිඳි නොයෙකුත් ආකෘති ඇති කළහ. ආගම නිසා යුද ගැටුම් ඇතිවිය. රාජ්‍ය නායකයෝ ජනතාව අදහන ආගම අනුව ස්වකීය පාලන ක‍්‍රම ප‍්‍රතිසංවිධානය කළහ. ආගම ආගමික ශ‍්‍රාස්තෘවරුන්ගේ දර්ශනය රැගත් නායකයින් ද, අනුගාමිකයන් ද අනන්‍යතා අනුව ක‍්‍රියාකරන්නට පටන් ගත්හ.

දීර්ඝ කාලයක් ව්‍යවහාරයෙන් පැවති නිර්මල බුදු දහම දැනි ලිඛිතව පවතී. ලේඛනගත කිරීමෙන් පසු එය එක හෙලා පිළිගැනීමට ලක්ව ඇත. දහම තිබියදී, නිතිපතා බණ අසන, මෙරට ජන සමාජය දහමට අනුකූලව හැසිරෙන්නේ නම් රටට බරපතල ප‍්‍රශ්න ඇතිවිය නොහැකිය. ධර්මානුකූලව සමාජය හැසිරෙන්නේ නම් රට තුළ විනය තහවුරු විය යුතුය. විනය නැති තැන දහම ආරක්ෂා නොවේ. බුදු දහමට පමණක් නොව  ඕනෑම ආගමකට අභියෝග මතුවන විට එය එහි ප‍්‍රතිසංස්කරණයක් විය යුතුය. නිසි කල නිසි අවස්ථාවේ එය සිදු නොවුනහොත් බිහි වන්නේ විකෘතියකි. මනුස්ස ස්වභාවය අනුව විකෘතියට මුහුණ පාන අවස්ථාවේ නොයෙක් අලූත් චරිත ද මතුවෙන්ට පටන් ගනී. අද ලාංකික සමාජය එතැනට පැමිණ සිටී. ප‍්‍රකෘතිය වසා විකෘතිය පැතිරෙයි. ගිහි පැවදි දෙපැත්තෙන්ම එය නිරීක්ෂණය කළ හැකිය. විකෘතිය මඩින විනය සංගායනාවක් අද අවශ්‍යය. දේශනාවට සමාජය අවනත නැති බව දැනෙන අවස්ථාවේ දී සංඝ සමාජය ස්වකීය ඇවතුම් පැවතුම් උදෙසා විනය සංගායනාවකට එළැඹීම අවශ්‍යතාවයකි. නිසි අවස්ථාවේ ප‍්‍රතිසංස්කරණයක් නොවන විට එය පසුව විප්ලවයකින් කෙළවර වෙයි. ඉතිහාසය එයට සාක්ෂි දරයි. එවැනි විප්ලවයකට මග අවුරා සංවාදයෙන් පැවැත්ම සකසා ගැනීම ජාතික – ආගමික නායකත්වයේ වගකීමකි.

Advertisements