13.06.2012- ලංකාදීප – මිලින්ද මොරගොඩ

ගෙවී යන සියවසේ ඇති වූ යුද්ධ ගණනාවකි. යුද ගැටුම් සමග බිහිවූ යුදකාමී රටවල් වෙති. යුද මානසිකත්වය හා යුද තාක්ෂණය එයත් සමග වර්ධනය විය. මිනිස් යුද්ධයකට වඩා තාක්ෂණික යුද්ධයක් දක්වා යුද්ධයේ ගමන වෙනස් වෙමින් තිබේ. යුද්ධයට පසු සටනට ගිය සොල්දාදුවාගේ මනස හ`දුනාගෙන ව්‍යාධි දුරු කරන මනෝ විද්‍යාව ද දියුණු තලයකට පත්ව ඇත.

ගැටුමකට මැදිවන හමුදාවක බරපතල බව කොතරම්දැයි අන්තර් ජාතික ප‍්‍රජාවට ඒත්තු යන දත්ත දැන් අනාවරණය වෙයි. වර්තමානයේ දිනකට ඇමරිකානු සොල්දාදුවෝ දහ අට දෙනෙකු දිවි නසා ගනිති. යුද බිමේ දී වීරයන් වන සෙබලූන් සිවිල් ජන ජිවිතයට ඇතුලත් වනවිට මුහුණ දෙන අර්බුද එමට බව එයින් පැහැදිළිය. එරට හමුදා සෙබලූන් නොයෙකුත් මානසික ව්‍යාධි, අවයව අහිමි සහ අන්ධ භාවයට ගොදුරු වී සිටිති. එම පිරිස ලක්ෂ අටක් පමණ බව දැක්වේ. මෙම පිරිස පුනරුත්ථාපනය කර සාමාන්‍ය ජන ජීවිතයකට යොමු කිරීම පහසු කර්තව්‍යයක් වී නැත. යුද මානසිකත්වයේ සිටි, නවීන ආයුධ පරිහරණයෙහි ශූර බලවත් කණ්ඩායමක් සරල ජීවිතයකට යොමු කිරීම සියුම් තැතකි.

ඇමරිකානු හමුදා සේවයෙන් විශ‍්‍රාමයන්නන් තාක්ෂණයෙන් දියුණු, නවීන මෙවලම්, පරිගණක හා සංකීර්ණ අවි භාවිතයට හුරු පිරිසකි. මේ නිසා ලක්ෂ සංඛ්‍යාත සෙබලූන්ට නොයෙකුත් කළමණාකරන, තාක්ෂණික අංශ වල දොරටු විවරවෙයි. නමුත් අවාසනාවකට මෙන් වැඩ කළ හැකි වයසේ පසුවන සෙබලූන් විශ‍්‍රාම යන විට එයින් සියයට දහ හතක් විරැුකියා ගොන්නට එකතු වන බව ද දැක්වේ. ඇමරිකාව නිකුත් කර ඇති දත්ත අනුව එම පිරිස ද ලක්ෂ හයත් හතත් අතරය.

ඇමරිකාවේ මෙම පසුබිම ශ‍්‍රී ලංකාවේ ආරක්ෂක අංශ වල ස්වභාවය සමග සැස`දීම වටී. රටට දශක තුනක කාලයක් තිස්සේ පැවති දීර්ඝ දරුණු ත‍්‍රස්තවාදයකට මුහුණ දෙන්නට සිදුවිය. ආරම්භයේ මිනිස් හටනක් වූ එය පසුව දැවැන්ත කාලතුවක්කු හා මිසයිල් ප‍්‍රහාර සමග තාක්ෂණයට පරිවර්තනය වූ බව පෙනේ. ත‍්‍රස්තවාදය අවසන් කර ගත වූ අවුරුදු තුන ඇතුලත ශ‍්‍රී ලංකාවේ ආරක්ෂක අංශ පරිවර්තන පසුබිමක සිටී. තවමත් විශාල පිරිසක් ආරක්ෂක සේවයේ නිරතව සිටින අතර යළි සමාජ ගත වන කණ්ඩායම රටට බරපතල ප‍්‍රශ්න ඇති කර නැත. නමුත් දියුණු මනෝ විද්‍යාත්මක විශ්ලේෂණයකට ලක් කිරීමේ වගකීම අපට ඇත. මනස සම්බන්ධ ප‍්‍රතිකාර ගැනීම පරිවර්තනයකට ලක්ව තිබේ. අතීතයේ එය හුදෙකලාව රහසිගතව බරපතල ලජ්ජාවකින් කරන එකකි. නමුත් අද එසේ නොවේ.

මතු පිටින් පෙනෙන්නට නැතත් ලාංකික ආරක්ෂක අංශ රටට ගැලපෙන සාමාන්‍ය පුරවැසියන් බවට පරිවර්තනය කරගැනීම වෙහෙසකර එකකි. අද දක්වා ජන සමාජය ඒ වෙනුවෙන් කර ඇති කැපවීම අගය කළ යුතුය. නිෂ්පාදනයට දායක විය යුතුව තිබුණ තරුණ ශ‍්‍රමය ඔවුන්ගේ දීප්තිමත් ම අවධියේ දී රටේ සහ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් කැප කිරීම විශාල පරිත්‍යාගයකි. මෙම කණ්ඩායම යළි සමාජගත වන්නේ වියපත් ජනගහනයක් වශයෙනි. රටට අවශ්‍ය කණ්ඩායම ඉතිරි කරගෙන ඉතිරි පිරිස සාමාන්‍ය ජීවිතයට ඇතුළුවිය යුතුය.

 

Advertisements