2012.06.06 – ලංකාදීප – මිලින්ද මොරගොඩ

මනුස්ස ජීවිතය සංකීර්ණය. පුදුමාකාර එකකි. නිතර අලූත් දේ එකතුවෙයි. ඒවා සොයාගැනීම්ය. නූතන තාක්ෂණය හා විද්‍යාව එකතු වූ විට විවිධාකාර නව නිපැයුම් බිහිවන්නට පටන්ගෙන ඇත. ස්වභාවිකව සිදුවන පරිවර්තනයට පරිබාහිරව කෙරෙන පර්යේෂණ සේ සැලකිය හැකි මෙකී නව සොයාගැනීම් ලෝක ස්වභාවයට අභියෝග කරයි. ජනනීය අවයව භාවිතය අලූතෙන්ම එකතු වි ඇත.

හදිසි අනතුරකදී අහිමිවන අවයවයක් වෙනුවෙන් කෙනෙකුගෙන් ලබා ගන්නා ඉන්ද්‍රිය බද්ධ කෙරිණ. ජීවත්ව සිටින හෝ මියගිය වහාම ගන්නා අවයවයකින් තවත් කෙනෙකුට ජීවත් වන්නට ඉඩදීම අද සාමාන්‍ය භාවිතාවකි. ජනනීය අවයව වෛද්‍ය විද්‍යාවේ හාස්කමකි. මිනිස් සිරුරේ අවයව පර්යේෂණාගාරයක වවන්නට පටන්ගෙන තිබේ. එය සාර්ථක බව අනාවරණය වෙයි. අස්ථියක්, කාටිලේජයක් කෘතීමව සකස් කර බද්ධ කරන ලද නමුත් මෙම තාක්ෂණය එයටත් දියුණු එකකි. මිනිස් ෙසෙල වලින් අවයව වගා කිරීමකි. එය විශ්වාස කරන්නටත් අපහසු දියුණුවකි. පර්යේෂණ මට්ටමින් ඇති මෙම අවයව ජනනය කෙටි කාලයක් ඇතුලත සාමාන්‍ය රෝහලක සිදුවිය හැකිය. සෞඛ්‍ය අංශයේ විප්ලවයකි. රෝගයක් වැළදුන තම අවයවය ඉවත්කර ඒ හා සමාන ලෙයින් මසින් සකස් වූ අලූත් ම අවයවයක් බද්ධ කරගන්නට අවස්ථාව ලැබීම ජීවිතය ගැන අපේක්ෂා වෙනස් කරන තත්ත්වයකි.

අවයව ජනනය බටහිර දියුණු රටවල කෙරෙන පර්යේෂණයකි. මිනිස් යහපතට සිදුවන මෙවැනි දුලබ සමත්කම අප රටට ද හිමි විය හැකිද? එපමණක් නොව, සුව සෙත සලසන නොයෙක් අලූත් ඖෂධ හා නවීන දැනුම රටට ලගා කරගත නොහැකිද? පළමුවෙන් මෙම අවස්ථා ඉතා ධනවත් සමාජයට සිමාවිය හැකිය. දැනටත් මෙරට වෛද්‍ය පහසුකම් ඉතා වියදම් සහගත එකකි. රජය ඉතා විශාල වියදමක් මහජනතාවගේ සෞඛ්‍ය හා සනීපාරක්ෂාව වෙනුවෙන් වැය කරයි. නොමිලේ සැපයෙන සේවාව වෙනුවෙන් කැපවූ කාර්ය මණ්ඩලයක් ද සිටී. එනමුත් එයින් සැපයෙන සේවාව හා සාමාන්‍ය ජනතාව රෝග පීඩාදියෙන් මිදෙන්නට විදින කරදර අතර විශාල පරතරයක් තිබේ. යථාර්ථය එයයි. ලෝකය වේගයෙන් ඉදිරියට යමින් මිනිස් ජීවිත ආරක්ෂා කරන නමුත් මෙරට වැසියන්ට එවැනි නූතන අවස්ථා විරලය.

Advertisements