16.05.2012- ලංකාදීප –  මිලින්ද මොරගොඩ

අධ්‍යාපනය නිදහස්ය. දරුවන් අධ්‍යාපනය ලබන්නේ නිදහසේද? නිසි අධ්‍යාපනය දරුවන් ට දෙන්නට රජය මහා වියදමක් දරයි. මෙම වියදමට සරිලන ප‍්‍රතිඵලයක් රටට ලැබෙන්නේ ද යන්න වෙනම විග‍්‍රහයකට යා යුතුව ඇති ප‍්‍රශ්නයකි. දෙමව්පියන් ස්වකීය දරුවන් වෙනුවෙන් දරන වෙහෙස සම කළ හැක්කේ කුමකටද?

මෙරට අධ්‍යාපන රටාව අනුව සුදුසු ජනප‍්‍රිය පාසලක් සොයා ගැනීම පහසු නැත. එයට වාසනාවන්ත වුවහොත්, ප‍්‍රවාහනය ද ගැටලූවකි. ප‍්‍රාථමික ශ්‍රේණි වලදී පාසලට එන්නේ  පුතා හෝ දුව පමණක් නොවේ. අම්මාය. නොඑසේනම් අත්තම්මාය. දරුවාත් සමග පාසලට එන කාන්තාවෝ පැය හය හතක් පාසල අවට ගත කරති. මෙය වැඩි අවධානයකට ලක් වූවක් නොවේ. සාමාන්‍යයෙන්  ඕනෑම නගරබද පාසලක් අවට දරුවන්ගේ රැකවරණය පතා පැමිණි කාන්තාවන් කාලය ගතවනතෙක් නොඉවසිලිමත්ව පසුවෙන බව දැකිය හැකිය. කොටසක් දරුවන් පාසලට ඇතුලත් කර තමන්ගේ රැකියාවට පිටත්ව යන අතර වෘත්තියක නියැලෙන්නේ නැති පිරිසට නැවත වතාවක් නිවෙසට ගොස් පැමිණෙන්නට කාලය හෝ ධනය වැය කිරීම අපහසුය.

මෙම ප‍්‍රශ්නය බරපතලව දැනෙන්නේ මධ්‍යම පැලැන්තියේ ජන කොටසටය. ඉතා උත්සාහයෙන් තමන්ගේ දියුණුව සලසාගෙන අගනුවර හෝ තදාසන්න ප‍්‍රදේශවලට සංක‍්‍රමණය වූ මෙම කණ්ඩායම ස්වකීය දරුවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් කැපවෙති. බස්රියේ හෝ තමන්ගේ ම වාහනය පදවාගෙන හෝ පැමිණෙන මෙම කතුන්ට පැය ගණනක් ගත කරන්නට වටපිටාවක් පාසල අවට නැත. පාසල තුළට ඇතුලූ වීමට ඔවුන්ට අවසරයක් ද නැත. එය බරපතල සමාජ ප‍්‍රශ්නයකි. කොළඹ අවට එය බෙහෙවින් නිරීක්ෂණය කළ හැකිය. පන්සලක, ආගමික ස්ථානයක හෝ රෙදි පිළි සාප්පුවකට යමින් කාලය ගත කරන්නට මවුවරුන්ට සිදුවීම කණගාටුවට කරුණකි. මෙම අවාසනාවන්ත පැත්ත ගැන දියුණුවන සමාජය අවධානය යොමු කර නැත. යහපත් දරු පවුල් නොමග යවා විනාශයට ඇද දමන ලද සිද්ධිවලින් ඇතැම්විට මෙවැනි අවස්ථා අවසන් වූ බවට ද වාර්තා වෙයි.

කාන්තාවන්ගෙන් පිරිසක්, පාසල් කාලයට පසු දරුවන් සමග යන අතර තවත් කොටසක් දරුවන්ට මහ මගදීම කවා පොවා සාමාන්‍ය ඇඳුම් අන්දවා අතිරේක පන්ති වලට ද යොමු කරවති. ඉනික්බිති අතිරේක පන්තිය අසල ගැවසෙති. තරගකාරී අධ්‍යාපන රටාව හෙයින් මෙකී කි‍්‍රයාවලියෙන් බැහැරව පාසල් අධ්‍යාපනයට පමණක් සීමා නොවේ. මෙවැනි රටාවකට ගොදුරු වූ කාන්තාවන්ට අවුරුදු ගණනක් එහිම නියැලෙන විට ඇතිවන තෙහෙට්ටුව තේරම්ගත යුතුය. පාසල, පාසල් සංවර්ධන සමිතිය, පලාත් පාලන ආයතන හෝ විශෙෂයෙන් රජය අවධානයට ලක් කළ යුතු පැත්තකි. නාගරීකරණය හා අධ්‍යාපනයේ තරගකාරීත්වය හෙයින්  බිහිව ඇති මෙම අලූත් සංස්කෘතියේ ගොදුරු බවට පත්වූ කාන්තාවන් සුරක්ෂිත කර ඔවුන් ගතකරන කාලය යහපත් මගකට යොමුකරන්නට ස්වේච්ඡා සංවිධාන හෝ කාන්තා නායිකාවන් හෝ අවධානයක් නොකිරීම වරදකි.

දරුවන් සමග එහි පැමිණෙන කාන්තාවන්ට පාසල තුළ තැනක් සැකසිය හැකිය. නොඑසේනම් පොතක් පතක් කියවන්නට, මැහුමක් ගෙතුමක් කරන්නට පහසුකම් සහිත ප‍්‍රජාශාලා පාසල කේන්ද්‍ර කරගෙන එයට නුදුරින් බිහිකළ හැකිය. පිරිසිදු පොදු වැසිකිලි හා කැසිකිලි පහසුකම් පහසුව ප‍්‍රමාණවත්ව නැති රටට මෙය අවශ්‍යතාවයකි. කාන්තාවන් වෙනුවෙන් එවැනි නිසි පහසුකම් ඇති කළ යුතු බව තදින් අවධාරණය කළ යුතු පියවරුන්ය.

Advertisements