25.04.2012 – ලංකාදීප – මිලින්ද මොරගොඩ

 

බක් මාසය ගෙවී යමින් තිබේ. උදාව වෙසක් මාසයයි. ගෙවුණ හා ලබන මාස රටට, සංස්කෘතියට වැදගත්ය. මෙම වැදගත්කම සමරන්නේ නිවාඩු වලින්ය. වැඩකරන ජනතාවගෙන් වැඩි කොටසක් නිවාඩු වරප‍්‍රසාදය භුක්ති විඳිති. මෙම සමයේ පමණක් නොවේ. එක් මාසයක් තුළ දින ගණනක් නොයෙක් හේතු අනුව නිවාඩු ලැබේ. අවුරුද්දකට එය සෑහෙන දින ප‍්‍රමාණයකි. නිල නිවාඩු වලට අමරතව වැඩකරන සේවකයන්ට නිවාඩු ස්වකීය අයිතියකි. අසනීප, අනියම් සහ වාර්ෂික ප‍්‍රසාද නිවාඩු ඒ අතර වෙති.

 

වැඩකරන්නේ පැය අටකි. පැය අටම නිවැරදිව රාජකාරි කරන තැනෙක් සොයා ගැනීම පහසු නැත. වැඩකරන අතර අයිතිවාසිකම් ඉල්ලා සටන්ය. අකුරට වැඩ, වැඩ වර්ජන හා විරෝධතා නිතර ඇතිවෙයි. මෙයින් හානියක් සිදුවෙයි. වැඩ නොකරන, නිවාඩු ඇති සහ වැඩ නතරකර වැඩි වරප‍්‍රසාද ඉල්ලන අතර නිසි ලෙස වැටුප් ගෙවන්නට සිදුවෙයි. එය ආයතනයකට පහසු නැත. රටක ආර්ථිකයට දරන්නට නොහැකි තත්ත්වයකි.

 

ලෝකය පරිවර්තනය වෙයි. වැඩකිරීම ගැන ඇති ආකල්ප වෙනස් වී තිබේ. නිවාඩු යනු අයිතියක් නොවන බව පිළිගෙන ඇත. වැඩ කිරීමේ කලාව වෙනසකට භාජනය වී තිබේ. ඵලදායීව කාර්යක්ෂමව වැඩ කිරීම වැදගත් බව තේරුම්ගෙන ඇත. එයින් තරගකාරීත්වය බිහිවී ඇත. ලාකිකයන් මිලියන ගණනක් ලෝකය පුරා වැඩ කරයි. ඒ රටවල දී මහන්සිවී වැඩ කරන ඔවුහු පෙරළා මව්බිමට පැමිණ ඒ ආකාරයටම වැඩ කරන්නට සූදානම්ද? ප‍්‍රශ්නය එයය්. අද වැඩ කිරීමේ දී වේලාව වැදගත් සාධකයක් නොවේ. වැඩ කරන්නට කාර්යාලයට පැමිණිය යුතු ද නැත. එය තොරතුරු තාක්ෂණයේ පෙරැළියයි. කොතැනක හෝ කවර ආකාරයකට හෝ නිෂ්පාදනය ට දායක විය හැකිය. පාරිභෝගිකයන් ඉල්ලන සේවාව සැපයිය හැකිය. එය නතරවන විට චක‍්‍රයට බාධාවකි. දියුණුව ලැබූ රටවල් නොනැවතී වැඩ කළේය. නොනවත්වා වෙහෙසුනහ. දිවා කාලයේ පමණක් නොව පැය විසිහතරේ ම ගොවිපොලේ, කම්හලේ වැඩ බිමේ වැඩ කළෝය. එයින් නිෂ්පාදනය වැඩිවිය. අතිරික්තයක් ඉතිරිවිය. එය වෙළඳාමටය. සමාජයට ලාභයක් දැණුනේ එයින්ය.

 

ශ‍්‍රී ලංකාව අලූත් යුගයකට අවතීර්ණ වී තිබේ. දශක තුනක යුද කාලපරිච්ඡ්දය අවසන්ය. යුද බිමේ දී සතුරා පරාජය කරන්නට දිවා රාත‍්‍රී නොනැවතී අවධානයෙන් සිටි යුගය අවසන් කර පහසුවෙන් සිටින නිවාඩු සංස්කෘතියකට ඇතුළු වෙමින් සිටිමු. එයින් රටේ නිෂ්පාදනය අඩාලවෙයි. ආර්ථික ඉලක්ක අඩාල වෙයි. නිවාඩුව අයිතිවාසිකමක් නොවේ. ලෝකයේ සෙසු රටවල් කාර්යක්ෂමතාව, ඵලදායීතාව ගැන නොයෙකුත් අත්හදා බැලීම්කරන වකවානුවක රටට අවශ්‍ය තරමට වඩා ඇති නිවාඩු ගැන ද අවධානය යොමු කළ යුතුය. නිවාඩු වෙනුවට ඒ දිනයේත් වැඩකර වැඩියෙන් උපයන්නට වැඩකරන ජනතාවට ඉඩ දෙන සංස්කෘතියකට රට ගමන් කළ යුතුව තිබේ. වැඩකරන කොටසකගේ ශක්තියෙන් යැපෙනු වෙනුවට සමාජයේ සියලූම දෙනා දිරියෙන් වැඩ කිරීමෙන් පෙරැළියක් සිදුකළ හැකිය. අවසානයේ දී එහි සාර්ථකත්වය දැනෙන්නේ  ජිවිතවලටය.

Advertisements