19.04.2012 – ලංකාදීප – මිලින්ද මොරගොඩ

මහන්සි වී වැඩ කරන්නට අපේ කැමැත්තක් නැත. වැඩ බිම දෙස බලන විට කැපවීමෙන් වැඩ කරන තැන ශ‍්‍රම හිඟයකි. ගොවිපොලේ, කම්හලේ වැඩ කරන්නට කැමති අයට ඇබෑර්තු තිබේ. ගොවියෙකු වීම, රබර් කිරි කැපීම, දලූ නෙලීම ඇඟලූම් කම්හල එයින් තැන් කිහිපයකි. මේ තැන් වල කරන රස්සාවට සමාජයේ පිළිගැනීමක් නැතැයි ආකල්පයක් ඇත. රටට වැඩිපුරම විනිමය උපයන්නේ ගොවිපොලෙන් හෝ කම්හලෙන්ය. නමුත් සමාජයේ වැඩි දෙනෙකු සොයන්නේ ආණ්ඩුවේ රැකියාවයි. රජයේ රැකියාව නිෂ්පාදනයට දායකවන්නේ අඩුවෙන්ය. මහජනතාවගෙන් අය කර බදු රජයේ සේවකයන්ට වැටුප් ගෙවයි. එය යැපීමකි.

ඇබෑර්තු ඇති මෙරට තැනෙක රැකියාව කර නිෂ්පාදනයට දායකවන්නට අකමැති අලූත් පරම්පරාව විදේශ රැකියාවට කැමතිය. එතැන පහසු දේ නැත. ජපානයේ, කොරියාවේ හෝ මැදපෙරදිග ඇතුලූ නොයෙක් රටවල රැකියා අවස්ථා තිබේ. එම රටවල පුරවැසියන් කැමැත්තක් නොදක්වන පහළ ශ්‍රේණියේ ඒවාය. ඉහළ අධ්‍යාපනයක් අවශ්‍ය තාක්ෂණික රැකියා ද ඇත. නමුත් ශ‍්‍රී ලංකාව ප‍්‍රසිද්ධියක් උසුලන්නේ ලාභ ශ‍්‍රමිකයන් සපයන රටක් හැටියටය. ලෝකයේ  ඕනෑම තැනෙක ගොස් ඉතා දුක් විඳිමින් යමක් උපයන්නට කැමති ලාංකික සමාජයේ එක්තරා කොටසක් මව්බිමේ දී එම කැපවීමට සූදානම් නැත.  එය ආකල්ප ප‍්‍රශ්නයකි. විදේශ ගතව රැකියා කරන කෙනෙකුට ලැබෙන වැටුප හා එය උපයා ගන්නට දරන කැපවීම සසඳන විට මෙරට දී ලැබෙන රැකියාව හා වැටුප ප‍්‍රමාණවත් එකකි. ඒ ගැන විවාදයක් නැත.

රටට ශ‍්‍රමාභිමානය සම්බන්ධව අලූත් ආකල්ප අවශ්‍යය. කරන රැුකියාවේ වැදගත්කම පිළිගැනීමකට ලක්විය යුතුය. පුහුණුවක් දී නිසි ප‍්‍රමිති ඇතිකරන්නට අවශ්‍යය. කසල බැහැර කරන සේවකයන් වර්ජනය කළහොත් ටයි පැළඳ ආඩම්බරයෙන් වැඩකරන්නට නොහැකිය. විශෙෂඥ වෛද්‍යවරයා තරමට ම රෝහලක උපස්ථායකයාගෙන් ද ඉටුවන වැදගත් කාර්ය භාරයක් ඇත. ඇඟලූම් කම්හලට ශ‍්‍රමය හිඟවී ඒවා වැසී ගියහොත් රටේ ආර්ථිකය සම්පූර්ණයෙන් අඩපණය. වෘත්තීය ගරුත්වයේ පළමු පාඩම එයයි. පොදුවේ අප නොසලකා හැර ඇත්තේ එයයි. එයට සමානව අලූත් ව්‍යවසායකත්වය ද වැදගත්ය. ව්‍යවසායකත්වය අලූත් ආදායම් උත්පාදන මාර්ග ඇති කරයි. පවතින, දන්නා රැකී රක්ෂා වලට එපිටින්, යමක් නිපදවා වෙළඳ පොළක් සොයා ගැනීම අලූත් ව්‍යවසායකත්වයකි. නව සේවාවක් සපයා පාරිභෝගික පිරිසක් දිනාගත හැකි අයෙකු කරන්නේ ව්‍යවසායකත්වය පුබුදු කිරීමයි. තවත් කෙනෙකු යටතේ වැඩ කරනු වෙනුවට තමන් ම ආදායමක් උපයා ගන්නා මග සොයා ගැනීම යහපත්ය. එය පහසු නැත. අභියෝගාත්මකය. රටක ආකල්ප යොමු විය යුතු වයවසායකත්වය කෙරෙහිය. අධ්‍යාපනයේ ප‍්‍රතිසංස්කරණ ඇති කළ යුතු යැපෙන පිරිසක් ඇතිකරන්නට නොව දිරියෙන් නැගෙන පිරිසක් බිහිකරන්නටය.

Advertisements